Friday, January 3, 2025

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට ආයුබෝවන් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ආරම්භ පිතිකරුවෙකු ලෙස කටයුතු කල දනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

ධනුෂ්ක ගුණතිලක 2017 වසරේදි ටෙස්ට් වරම් දිනාගත්තේ ඉන්දීයාවට එරෙහිවයි.

ඔහු වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 61 ක් ලබා ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

පසුගිය වසරේ ජූනි මාසයේ යෙදී තිබුණු එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්, දනුෂ්ක ගුණතිලකට මේ වසරේ ජූනි මස දක්වා බල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 8කට ක්‍රීඩා කර ඇති දනුෂ්ක එහිදී ලකුණු 299ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ද සමගින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කරන ලද සිය ලිපියේ ධනුෂ්ක ගුණතිලක සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව, පන්දුවාර 50 සහ පන්දුවාර 20 තරග සඳහා ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.

30 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන්නේද සීමිත පන්දුවාර ක්‍රීඩාව සඳහා වන ශාරීරික යෝග්‍යතාව රැක ගැනීමේ අරමුණෙන් බවයි.

“මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම සැමවිටම ගෞරවයක් වන අතර, මට ආරාධනා කරන ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියටත් මගේ හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙමි,” ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles