Friday, May 17, 2024

පඩුකරඳ හෙවත් Crudia Zeylanica පිළිබඳ අනාවරණයක්

පඩුකරඳ හෙවත් Crudia Zeylanica ශාකය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පරිසර අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මෙම ශාකය 2020 රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව ඇති පුවත්වල සත්‍යතාවය පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අදාල බලධාරින්ගෙන් කරුණු විමසා ඇති අතර කිසිසේත්ම එම ශාකය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් නොකරන බව ඔවුන් ඇමැතිවරයාට දන්වා ඇත.

වසර 2012 දී පළ කරන ලද රතු දත්ත ලැයිස්තුවේ දී ශ්‍රී ලංකාවෙන් තුරන් ව ගිය (Extinct) ශාක පහක් රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබිනි.

ඒවා නම්Rinorea decora (Violaceae), Rinorea bengalensis, Crudia zeylanica (Fabaceae) ,Strobilanthes caudata (Acanthaceae),සහ Blumea angustifolia (Asteraceae). යන වර්ග පහයි. එහෙත් 2012න් පසු සිදු කරන ලද උද්භිද විද්‍යා සමීක්ෂණවල දී මේ අතරින් 2020 ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තුව සකස් කිරීමේ දී Rinorea decora (Violaceae), Rinorea bengalensis, Crudia zeylanica (Fabaceae) යන විශේෂ 03 ම නැවත සමීක්ෂණ මගින් රැස් කරනු ලැබ තිබේ.

Crudia zeylanica හෙවත් පඩු කරඳ ශාකය ඉන් එකකි. අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක් වුයේ එම ශාකයකි. නමුත් මෙම ශාකය හඳුනා ගැනීමත් සමග එම ශාකය තවත් ස්ථාන කිහිපයකින් හඳුනා ගනු ලැබීය.

එමනිසා එම ශාකය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් වඳව ගිය Extinct විශේෂයක් ලෙස නොසැළකේ. එසේ වුවද එම ශාකය රතු දත්ත ලේඛනයෙන් ඉවත් වන්නේ නැත. එය ඊළග වර්ගීකරණයට එනම් අවදානමට ලක් වූ ශාකයක් ලෙස තවදුරටත් රතු දත්ත ලැයිස්තුවේ අන්තර් ගත වේ.

නමුත් 2012 ශාක රතු දත්ත ලැයිස්තුවේ අන්තර්ගත වූ ශ්‍රී ලංකාවෙන් වඳ ව ගොස් ඇතැයි සැළකෙන Strobilanthes Caudata (Acanthaceae), Blumea angustifolia (Asteraceae). ශාඛ විශේෂ දෙක 2020 රතු දත්ත ලැයිස්තුවේ ද අප රටෙන් වඳ වී ගිය ශාක දෙකක් ලෙස තවදුරටත් නම් කරනු ලැබ තිබේ. Doona ovalifolia (Dipterocarpaceae) and Alphonsia hortensis (Annonaceae) ස්වාභාවික පරිසරයෙන් වඳ වී ගොස් ඇති කාණ්ඩයේ (Extinct in Wild ) 2012 රතු දත්ත ලැයිස්තුවේ අන්තර් ගතය. Eugenia xanthocarpa (Myrtaceae) වත්මන් එනම් 2020 රතු දත්ත ලැයිස්තුවේ ස්වාභාවික පරිසරයෙන් වඳ වී ගිය (Extinct in Wild ) කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

Alphonsea hortensis and Eugenia xanthocarpa දැනට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සජීවි ශාක නිදර්ශණ එකතුවේ වගා කර ඇත. එමනිසා පඩුකරඳ හෙවත් Crudia Zeylanica ශාකය 2020 රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළ වී ඇති වාර්තා සාවද්‍ය වේ.

මෙම රතු දත්ත ලැයිස්තුව සකස් කිරීමේ දී සොබාදහම සංරක්ෂණය සඳහාවූ අන්තර් ජාතික සංගමයේ (IUCN) නිර්ණායක අනුව සකස් කරනු ලැබේ. එමනිසා අපට අවශ්‍ය පරිදි රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට හෝ ඉන් ඉවත් කිරීමට නොහැකි යැයිද පරිසර අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාක පිලිබඳ රතු දත්ත ලැයිස්තු පසුගියදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබු අතර ඒ සඳහා සොබාදහම සංරක්ෂණය සඳහාවූ අන්තර් ජාතික සංගමය, කොළඹ විශ්ව විද්‍යාලය ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙන්ම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාකා ගාරයේ තාක්ෂණික හා උපදේශක කණ්ඩායමක දායකත්වය ද ලබා දී ඇත.

ශාක කුළ 186ක සපුෂ්ප ශාක විශේෂ 3087ක් ඇගයීමට ලක් කර ඇති අතර එයට ඒක දේශීය සපුෂ්ප ශාක 863ක් ( මුළු සපුෂ්ප ශාකවලින් සියයට 28ක්) ඇතුළත් ය.2012 වාර්තාවට ඇතුළත් නොකළ ශාක විශේෂ 64ක් මෙවර ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධ 2020 රතු ලැයිස්තුව යටතේ අප රටේ මත්ස්‍ය විශේෂ 97ක් ඇගයිමට ලක් කර ඇත. ඉන් විශේෂ 61ක් අප රටට ආවේණික බව හඳුනාගෙන තිබෙන අතර ඉන් අපේ රටට ආවේනික විශේෂ 12ක් දැඩි තර්ජිත ලෙස රතු ලැයිස්තු ගත කර තිබේ.තවත් විශේෂ 29ක් තර්ජිත වන අතර ඉන් 24ක් අපිට ආවේනික මත්ස්‍ය විශේෂවේ.තවත් මත්ස්‍ය විශේෂ 10ක් අවදානම් තත්ත්වයේ සිටින අතර ඉන් 09ක්ම අපිට ආවේනික මත්ස්‍ය විශේෂ බවත් ආවේනික මත්ස්‍ය විශේෂ 05ක් ඇතුළත්ව විශේෂ 10ක් ආසන්න තර්ජිත තත්ත්වයේ සිටින බවත් මෙම වාර්තා සඳහන් කරයි.


දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles