Friday, May 17, 2024

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන ඇමති පැහැදිලි කරයි

එළඹෙන මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් හෙට (25) සිට විවෘත කෙරේ. බස්නාහිර පළාතේ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශ හැර අනෙකුත් පාසල් ඒ අනුව හෙට ඇරඹෙයි. මාර්තු මාසයේ 01 වැනි දින සිට 11 වැනි දා තෙක් පැවැත්වෙන අ.පොස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා බස්නාහිර පළාතෙන් විභාග අපේක්ෂක සිසුන් 79000ක් පෙනී සිටින බවත්, ඔවුන්ගේ මගහැරී ගිය ඉගෙනුම් කටයුතු කඩිනමින් ඉටු කරදීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන්, සෞඛ්‍ය බලධාරීන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පාර්ශව සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලද බවත්, ඒ අනුව, සියලු පාසල් සම්බන්ධයෙන් පොදු තීරණයක් ඉසුරුපායෙන් නිකුත් කිරීම ප්‍රායෝගික නොවන හෙයින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා මේ සම්බන්ධ නිශ්චිත තීරණයක් ගැනීම වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය බවත් යෝජනා විය. ඒ අනුව, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් වෙත මේ සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙසත්, පූර්ණ සහාය ලබාදෙන ලෙසත් දැනුම් දෙන ලදී. එමෙන්ම එළඹෙන පෙබරවාරි මස 03 වැනි දිනට පෙර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, සාමාජිකයන් සහ ප්‍රදේශයේ අනෙකුත් සෞඛ්‍ය හා අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් මේ කරුණ සම්බන්ධයෙන් විශේෂ හමුවක් පවත්වා අවදානමට මුහුණදෙමින් දැනට ආරම්භ කිරීමේ හැකියාව පවතින, පාසල් සම්බන්ධ නිර්ණය කර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැන්විය යුතු බව ද එහි සඳහන් කර ඇත. බස්නාහිර පළාතේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 1576ක් වන අතර, ඒ අතරින් පාසල් 900ක් පමණ සෞඛ්‍ය නිර්දේශ අනුව විවෘත කිරීමේ හැකියාවක් දැනට පවතින බව ද, පෙබරවාරි මස 15 වැනි දා වනවිට පවතින තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් පදනම් කරගනිමින්, විධිමත් වැඩපිළිවෙළක් යටතේ බස්නාහිර පළාතේ පාසල් අනෙකුත් ශ්‍රේණිවල සිසුන් සඳහා ද ක්‍රමක්‍රමයෙන් ආරම්භ කිරීමට බොහෝදුරට හැකිවනු ඇති බව‍ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles