බුදුදහම යනු මිනිස් ප්‍රඥා මහිමයේ ඉහළ ම අත්තේ පිපුණු කුසුම ය. ඊට ඉහළින් අන් කිසිදු කුසුමක් පසුගිය වසර 2500ක ඉතිහාසයේ දී ද මින් පසු ගොඩ නැගෙන අනාගතයේ දී සුපුෂ්පිත නොවනු ඇත. වර්තමානයේ ද හෙට එන අනාගතයේ දී සිදුවනු ඇත්තේ බුදුදහම විසින් හෙළි කළ මහා ප්‍රඥාව ලොවට වැඩි වැඩියෙන් තහවුරු වීම පමණි. ජර්මන් දාර්ශනික ප්‍රීඩ්රිෂ් නීට්ෂේ කී පරිදි බුදුදහම වඩ වඩාත් අර්ථාන්විත වන්නේ ඉහළ දැනුම් සමාජයන්ට ය. තම දහම ප්‍රඥාවන්තයින්ට පමණක් බව බුදුන් වහන්සේ දේශනා කළේ ද මේ අර්ථයෙන් ය.
බුදුන් වහන්සේ යනු මිනිසෙකි. අන් සියළු ආගම් දහම් දෙවියෙකුගේ හෝ දේව නියෝජිතයෙකුගේ මැදිහත් වීමෙන් ලොවට දායාද වූ අතර බුදුන් වහන්සේ තමා හඳුනා ගත්තේ මිනිසෙකු ලෙස ය. තමාට කිසිදු දේවමය උපතක් පවරා දීමට බුදුහු කටයුතු නොකළහ. අන් අය එසේ කරනවාට ද දැඩි සේ එරෙහි වූහ.
බුදුදහම කිසිදා අන් දැනුමකින්/දහමකින් අතික්‍රමණය කළ නොහැක්කේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව එය මානව නිෂ්පාදනයක් නිසා ය. කොටින් ම බුදුන් වහන්සේගෙන් පසු ලෝක චින්තන ඉතිහාසය අවසන් විය. ඉන් පසු එලඹුනේ බෞද්ධ චින්තනයේ විශ්වීයකරණයයි. වත්මන් නූතන විද්‍යාව පවා බුදුදහම සොයාගෙන යන දැනුම් ධාරාවකි. ඉන් කියවෙන්නේ විද්‍යාඥයින් බෞද්ධයින් බව නොවේ. එහෙත් ඔවුන්ගේ දැනුම් එළඹුම බෞද්ධ ය. ඔවුන් ගවේශකයින් ය. දේවවාදී ආගම්වල ගවේශණ නැත. මන්ද දෙවියන් විසින් එහි සියල්ල කියා අවසන් කොට තිබෙන හෙයිනි. නූතන විද්‍යාඥයින් එවැනි දේවකතා විස්වාස නොකරන හා මානව ප්‍රඥාව ගැන විස්වාස තබන “බෞද්ධයින්” පිරිසකි. ඇල්බට් අයින්ස්ටයින් යනු නූතන විද්‍යාවේ ආලෝකවත් ම බෞද්ධය ය. ඔහුගේ සාපේක්‍ෂතා නියමය පටිච්චසමුත්පාදයේ බුද්ධිමය විවරණයයි. අයිසැක් නිව්ටන් පරයා යන්නට අයින්ස්ටයින්ට හැකි වූයේ ඔස්ට්‍රියානු ජාතික බෞද්ධයෙකු වූ අර්න්ස්ට් මඛ් නිසා ය. මඛ් නම් චින්තකයා නොවන්නට සාපේක්‍ෂතාවාදයක් නැත. මේ අතර, ක්වොන්ටම් භෞතිකය සපුරා ම පටිච්චසමුත්පාදයෙන් ව්‍යුත්පන්න කරගත් දැනුමක් බව අද බොහෝ විද්‍යාඥයෝ පවා විස්වාස කරති.
විද්‍යාව ‘පට්ටපල් බොරුවක්’ බව අප විස්වාස නොකරන්නේ ඉහත තත්වය උඩ ය. විද්‍යාවේ අඩුපාඩු එමට ය. අඩුපාඩු නැත්තේ කුමන් දැනුමේ ද? නූතන විද්‍යාව තුළින් කෙනෙකුට රහත් වීමට හැකි බව අපි නොකියමු. එසේ වීමට ඇවැසිනම් කළ යුත්තේ විදර්ශනා වැඩීම ය. ඒ බුදුදහමේ එක් දැනුම් මාර්ගයකි. එහෙත් අපි ග්‍රන්ථ ධූරය වඩන්නෝ වෙමු. ඒ බුදුදහමේ දෙවැනි දැනුම් මාර්ගයයි. ඒ තුළ වැදගත් වන්නේ සෛද්ධාන්තික දැනුම ය. අප දැනට නිවන් මග නොයන හෙයින් ලෞකික දැනුම අත්‍යාවශ්‍ය දෙයකි. දැනුමෙන් ම වැඩකරන අපට සියළු දැනුම් ‘පට්ටපල් බොරුවක්’ බව අපට කීමට කිසිදු අයිතියක් නැත. එසේ කිව හැක්කේ ලෞකික ලෝකය අභිබවා ගිය අරිහත් කෙනෙකුට ය.
අප බුදුදහම පාවිච්චි කළ යුතු ය. ‘විවටෝය විරෝචති’ යනුවෙන් බුදුන් වහන්සේ අපේක්‍ෂා කළේ මේ ය. විවෘත කරන්න කරන්න එය බැබලේ. ලංකාවේ බුදුදහම පාවිච්චි වන්නේ ඉතා අවම වශයෙනි. පන්සල්වල නිවෙස්වල දිනපතා තැබෙන බුද්ධ පූරා හැරෙන්නට දැනුමක් ලෙස බුදුදහම භාවිත වන්නේ නැති තරම් ය. බුදුදහම හරහා නිමවෙන දැනුම් මොඩලයන් තරම් නූතන ලෝකයට වැඩදායි අන් කිසිවක් නැතැයි අපි කියමු. එහෙත් ඇතැමුන්ට අවශ්‍ය වන්නේ බණකතා සම්ප්‍රදාය මූලික කරගත් හුදු සිංහල බුද්ධාගමකට පමණක් අප කොටු කර තබා ගන්නට ය. දැන හෝ නොදැන (නිසැකව ම නොදැන) මේ අය කරන්නේ අප වඩ වඩාත් බුදුදහමින් ඈත් කොට අපගේ ඥානමය පරාධීන බව නඩත්තු කිරීම ය.බටහිර දේශපාලනය ව්‍යාපෘථියට අවශ්‍ය වන්නේ අප වැනි රටවල සිටින එවැනි දැනුම් පරපුටුවන් ය. .
මහිනද පතිරණ