Saturday, May 18, 2024

මර්කල්ගේ පාලනය අවසන්, ජර්මනිය නව නායකයෙකු සොයයි.

ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ 16 වසරක පාලනය අවසන් කරමින්. එරට වේලාවෙන් පෙරවරු 8 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 6 ට අවසන් වීමට නියමිතයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 60.4 ක්. ආසන 598 කින් සමන්විත ජර්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නම් ආසන 300ක් ජයග්‍රහණය කළ යුතුයි.

යුරෝපයේ බලවත්ම ආර්ථිකයක් හිමි ජර්මනියේ ඊළඟ චාන්සලර් ධුරය හිමිවිය යුත්තේ සිය පක්ෂයේ අපේක්ෂක ආමින් ලස්කට්ට බව ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ ඔහුගේ අවසන් දේශපාලන රැළියට එක්වෙමින්.

තරුණ තරුණියන්ට අනාගතයක් අවශ්‍ය බැවින් ජර්මනියට ස්ථාවර නායකත්වයක් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළා.

තවත් වරක් චාල්සලර් ධුරය සඳහා තරග නොකිරීමට ඇන්ගෙලා මර්කල් ගත් තීරණය, ජර්මන් දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ජර්මනියේ පාලනය යළි සියතට ගැනීමට අවස්ථාව තිබියදීත් ඇය, තවත් අයෙකුට අවස්ථාවක් සළසමින් ධුරයෙන් නික්ම යාමට ගත් තීරණය, ලෝකයේම පැසසුමට ලක්වුණා.

2005 වසරේදී චාන්සලර් ධුරයට පත් ඇන්ගෙලා මර්කල්, ජර්මනියේ නායකත්වයට පත්වූ පළමු කාන්තාවයි.

ලොව බලවත්ම කාන්තාව ලෙස ෆෝබ්ස් සඟරාව නම් කළ ඇන්ගෙලා මර්කල්, ලෝක දේශපාලනය තුළ පෙරළිකාර චරිතයක්.

කොරෝනා වසංගතය මැඬලීමට පෙරමුණ ගත් ලෝක නායකයින් අතර ඇගේ නම ලියැවී ඇත්තේ රටවැසියන් ආරක්ෂා කිරීමට අභියෝගාත්මක තීරණ ගත් නායිකාවක් ලෙසයි.

ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඇන්ගෙලා මර්කල්, සිය ධුරයට සමුදෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles