Friday, May 17, 2024

මිල වැඩිවීමේ බර දිගටම ජනතාව පිට පටවන්නේ නැහැ

පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ඊයේ (14දා) ශ්‍රී  ලංකා මහ බැංකුවේ පැවැති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6ක්  ලෙස නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවතිනු ඇත.

ඉදිරි කාලය තුළ මෙරටට ශක්තිමත් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වන බවද කොවිඩ් තත්ත්වය අඩුවීමක් මත සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර අවස්ථා නැවත විවෘත වීමත් සමඟ එලෙස ශක්තිමත් ආර්ථික වර්ධනයක් ගොඩනැඟීමට හැකිවන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටියේය.

2022 වසරේදී මෙරට ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් කරා ගෙනයෑමට සැලසුම් කර ඇති බවද  ඒ සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.

ඉදිරි කාලය තුළදී මෙරට උද්ධමනය පාලනය කිරීමට හැකියාව ලැබෙන බවද කබ්රාල් මහතා ප්‍රකාශ කළ අතර, මෙරට ආහාර හා ආහාර නොවන කාණ්ඩයන්හි මේ වනවිට පවතින ඉහළ මිල තාවකාලික තත්ත්වයක් වන බවද ප්‍රකාශ කළේය.

තනි ඉලක්කමකින් උද්ධමනය පවත්වාගෙන යෑමට මහ බැංකුව කටයුතු සැලසුම් කර ඇති බවද ප්‍රකාශ කළ ඒ මහතා මේ වනවිට භාණ්ඩ මිල වැඩිවීම දිගටම පවත්වාගෙන යෑමට හෝ එහි බර ජනතාව වෙත පැටවීමට බලාපොරොත්තු නොවන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles