කවුදැයි මට මතක නැත. එහෙත් යමෙකු මෙසේ කියා තිබේ. “දේවල් වැඩි වැඩියෙන් වෙනස් වන තරමට, ඒවා පරණ විදිහටම තිබේ“
ශ්‍රී ලංකාව ඊට වෙනස් යැයි සිතන සිහිබුද්ධියක් ඇති කෙනෙකු වෙතොත්, ඔහු/ඇය කළ යුත්තේ, මෑතකදී ජිනීවා නුවරදී ඒකමතිකව සම්මත කරගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් අපේ ඇස් ඉදිරියේම දැන් දිග හැරෙමින් පවතින විගඩම දෙස බැලීමයි.
ගොඩේ අමනයෝ, දේශපාලනික බකපණ්ඩිතයන් සේ පෙනී සිටිමින් එකම මෝඩ බයිලාව ගයති: “කිසිම පරීක්ෂණයකින් අපේ රණවිරුවන්ට හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.“ රාජපක්ෂ කඳවුරේ වාචාලයන් සේම, මෛත්‍රී-රනිල් සභාගයට සහාය පළ කරන්නෝද මේ සටන් පාඨය කට ගාති. “අපේ රණවිරුවන්ව ඕනෑම අනතුරකින් ආරක්ෂා කර ගැනීම“ පසුපස ඇති සරළ තර්කණය වන්නේ, රුසියානු හමුදාවට සංඛ්‍යාත්මකව සමාන වන අපේ සන්නද්ධ හමුදාවන්හි කිසි සාමාජිකයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්විය යුතු බවයි. පවතින ශ්‍රී ලංකාවේ නීතිය යටතේ නඩු පැවරීමකට කොහෙත්ම ඔවුන් ලක්නොවන බවයි.
බි්‍රතාන්‍යයේ “චැනල් 4“ වාර්තාමය චිත්‍රපටි අවභාවිතයට ගැනීම් මොන ආකාරයෙන් සිදුව තිබිය හැකි වෙතත්, ඒ ආකාරයේ භෞතික දෙයක් විකෘති කොට ඇති බවට සාක්ෂි ඇතැයි ඒ අංශයේ දැනුමක් ඇති කිසිවෙකු කියා නැත. එම සිදුවීම්වලට හැඟීම්බර ගතියක් ආරෝපණය කොට ඇතැයි යමෙකු යෝජනා කළ හැකි වෙතත්, එහි අන්තර්ගතයේ කිසිවක් බොරුවට ගොතා ඇති බවට අංශුමාත්‍ර හෝ සාක්ෂියක් නැත. මා මෙසේ කියන විටම, “කොටියන්ගෙන් ගතමනා ලබන“ සහ “බටහිර කුමන්ත්‍රණයක“ ඒජන්තයෙකු වශයෙන් නැගෙන සුපුරුදු චෝදනාවට මා ලක්වනු ඇත. “බල්ලෝ බිරුවට, තවලම ඉදිරියට ඇදෙයි“ කියා අපි එය පැත්තකින් තියමු.
නූතන රුසියාවේ හමුදාවට සංඛ්‍යාත්මක සමානත්වයක් දරණ සන්නද්ධ හමුදාවක්, තිස් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධයක් තුළ කිසිදු “අවකල් ක්‍රියාවක“ වැරදිකරුවන් නොවෙතැයි කීම ඇදහිය නොහැකි අභව්‍යයකි. එහෙත් සෑම පුවත්පත් සාකච්ඡාවකම සහ සෑම රූපවාහිනී සාකච්ඡාවකම මේ අදහස් වමාරන අයවළුන් ආමන්ත්‍රණය කරන්නේ, ශ්‍රී ලාංකිකයන් අතරේම සිදුවූ යුද්ධයේ අවසාන සංහාරය “විමුක්ති යුද්ධයක්“ වශයෙන් ගිල්ල පිරිසකටයි. “සිවිල් ජීවිත එකක්වත් වැනසුණේ නැති“ බවට ගෙතූ ප්‍රබන්ධය වචනයක්වත් නොදොඩා පිළිගත් පිරිසකටයි. මිත්‍රවරුනි, රාජපක්ෂ රැළ, 2009 නන්දිකාදල් වෙරළේ සිදුවීම පැහැදිළි කෙළේ එලෙසයි. යුද්ධයේ අවසන් දින කිහිපයේ සන්නද්ධ හමුදා ප්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් සිටි සහ දැන් මේ රටට නායකත්වය දෙන කෙනා ඉන් කෙනෙකි.
නරක නැහැ නේද? මීටත් වඩා නපුර වන්නේ, මෙරටේ වෙසෙන ඊනියා “උගත් ජනතාවත්“ ඒ අපරූපී ප්‍රබන්ධය, සැකයක හෝ කුකුසක කෙඳිරියකින්වත් තොරව පිළිගැනීමයි. පිළිගැනීම එසේ වන විට, ඊට එරෙහිව විරෝධය නොපෑම ගැන කුමන කතාද?
යුද්ධය තුළ, ආණ්ඩුව සහ ඊට අයත් හමුදා කිසි අවකල් ක්‍රියාවක නොයෙදුණේය යන ප්‍රබන්ධය කර තියාගත් අයවළුන්ට තිඛෙන එකම යථාර්ථවාදී “පිටවීම“ ඊනියා “ මිශ්‍ර විමර්ශන කොමිසම“ වෙතත්, වර්තමාන දේශපාලනික පරාසය දෙපැත්තේ සිටින දෙපිරිසම ඊට බොක්කෙන්ම අකුල් හෙලනු ඇත. ඊට මැද්දෙන් සිටින පිරිස්ද එවැනිම ක්‍රියා මාර්ගයක් ගැනීමට බැරි නැත.
ඕනෑම විමර්ශන ක්‍රියාවලියක්, එහි වැදගත්කම වියැකී යන තෙක් පමා කිරීමට හෝ එවැන්නකට අකුල් හෙලීමට, රනිල්-මෛත්‍රී සන්ධානය ලංකාවේ අලූත් යහළුවන් වන බටහිර රටවල් සමග එක්ව කටයුතු කරතියි සිතීමට සාක්ෂි තිබේ. අයි.එස්.අයි.එස්. සංවිධානය, ඇමරිකාව, රුසියාව, අල්කයිඩා සංවිධානය සහ තවත් මෙකී නොකී සාධකවලට ස්තුතිවන්ත වන්නට, මීට වඩා ලොකු සහ වැදගත් ව්‍යවසනයන් වෙත අවධානය යොමු කිරීමට, කාලයාගේ ඇවෑමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවනු ඇත.
මේ විකාරයට නම්බුකාර සළුපිළි පළඳවනු වස්, ජාත්‍යන්තර මූල්‍ය කළමනාකරණයට වඩා ගැහැනු සොඬෙකු සේ ප්‍රසිද්ධ ඩොමිනික් ස්ට්‍රොස්කාන් වර්ගයේ විශේෂඥයන්ට වඩා වැඩි යමක් අවශ්‍ය බවට අදහස් කළ පිරිස් පත්වූ අපහසුතාව මට තේරුම් ගත හැකිය. කෙසේ වෙතත්, අඩු වශයෙන් මේ දක්වා, මෛත්‍රි-රනිල් සන්ධානය එම නැමියාව මැඩගෙන තිබේ.
වාචාලයන් උන්ගේ රාජකාරිය දිගටම කරනු ඇත: උන් පාලනය කරන විද්‍යුත් මාධ්‍ය ඒ සඳහා ප්‍රායෝජනයට ගනු ඇත. සදාචාරයක හෝ ප්‍රතිපත්තියක ගෑවිලාවත් නැති හිස් බස්, මේ රටේ මුදලට යට වී තිඛෙන මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ලියා දන්වනු ඇත. උන්ගේ හෙංචයියන්, මෙරටේ තවමත් ඉතිරිව ඇති යම් විනීත භාවයක් වෙනුවෙන් පෙනී සිටින, වෙබ් මාධ්‍ය ජාලයේ ලියන අප වැන්නන්ට එරෙහිව අවලාද නගනු ඇත.
එය පුදුමයක්ද? ඔබ පුදුම විය යුතු නැත. මන්ද යත්, ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල වශයෙන් කලක් පැවති ලංකාවේ දේශපාලන සංස්කෘතිය අද වැටී ඇති තත්වය එවැන්නක් වන බැවිනි. ඉහත කී සියලූ දෑ නොවැළැක්විය හැකි දේවල් සේ පෙනී යන අතරේම, විදේශයන්හි වෙසෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතුරුබිතුරුත්, ප්‍රභාකරන් සහ ඔහුගේ මිනීමරු ෆැසිස්ට් ව්‍යාපාරයේ අනුගාමිකයන් නොවූ දැනට විදේශයන්හි ජීවත් වන දෙමළ ඩයස්පෝරා කණ්ඩායමුත්, ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිවිහැනහිලේ ඉන්නට ඉඩ නොදෙනු ඇත. නිවැරදි දත්ත සේම, ප්‍රචාරකවාදී සහ අපවාදාත්මක කරුණුද ඔවුන් බටහිර මාධ්‍ය හරහා විසුරුවා හරිනු ඇත.
ලෝකය ඉදිරියට ඇදෙන්නේ නිසි ප්‍රව්‍රජිත මාදිලියකටයි. ඒ තත්වය තුළ, වීරවංශ පන්නයේ වාචාලයන්ගේ බසට රැවටී, හිට්ලර් පවා ලජ්ජාවට පත්විය හැකි තරමේ ජාතිවාදී මහෝත්තමවාදයේ ස්තෝත්‍රයක් සේ ලෝකයාට පෙනී යා හැකි පියවරයන්ට නොගොස් සිටීමට පරිස්සම් විය යුතුව තිබේ. වරද්ද ගන්න එපා. මා මේ කියන්නේ, ජාතිවාදී හිංසනය උසිගන්වන අයට එරෙහිව, පවතින නීති තදින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි. (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොව). මේ ආණ්ඩුවත්, වීරවංශලා සහ රාජපක්ෂලාව භාර ගන්නට අදහසක් ඇත්තේ නම් මිස, “කොමිෂන් නාලිකාව“ වෙනස් කොට, ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණයකට මානව හිමිකම් අත්‍යාවශ්‍ය යැයි විශ්වාස කරන ලෝකයාගෙන් කොන් කෙරෙන රාජපක්ෂ සම්ප්‍රදායයේ පාහර රටක් බවට නැවතත් පත්වීමට කැමැත්තක් ඇත්තේ නම් මිස, ඊට අඩුවෙන් ගන්නා කිසි පියවරක් ප්‍රමාණවත් වන්නේ නැත.
2015 ඔක්තෝබර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය “යහපාලනය ලංකා“