Sunday, May 19, 2024

රණවිරුවන් සහ රජය භේද කරන කුමන්ත්‍රණයක්

යුද්ධයේ දී ආබාධිත විශ්‍රාමික රණවිරු සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් පෙරේදා (07) දින ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ හා ඒ අසල ඇති කළ කලහකාරී තත්ත්වය සැලසුම් සහගතව රජය අපහසුතාවට පත් කිරීමටත් රණවිරුවන් හා රජය අතර බරපතළ බෙදීමක් සිදුකිරීමටත් කළ කුමන්ත්‍රණයක් බව රජය අවධාරණය කරයි.

ජනාධිපති කාර්යාලය අසලට පැමිණි අහිංසක ආබාධිත රණවිරුවන් තමන් මෙහෙය වූයේ කවුදැයි ඔවුන්වත් නොදන්නා බව පැහැදිලි කළ අතර, ගැටලුව නිරාකරණයට සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදීත් මෙවන් තත්ත්වයක් උදා කිරීම තුළින්ම, මෙය හුදෙක් ආණ්ඩු විරෝධී කණ්ඩායමක උත්සාහයක් බව පෙනී යයි.

මේ ඉල්ලීම් ලබාදීමට විෂයභාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ මීට මාස හතරකට (04) පෙරයි. එම ඇමැති මණ්ඩල සංදේශය ඉදිරිපත් කර භාණ්ඩාගාරයෙන් තීන්දුවක් ලබාගෙන එය ආරක්ෂක අමාත්‍යාංශයට ද දැනුම් දී තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මීට ලැබී තිබුණ ද, පෙරේදා (07) දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කිහිපදෙනකු හා පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මේ කළහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවක් බව ඉතා පැහැදිලිය.

මේ කළහකාරී හැසිරීම සිදුකෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයන් පස් දෙනකු සමඟ ආරක්ෂක අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් පවත්වමින් තිබියදීය.

මේ සේවා විශ්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලු නීති රෙගුලාසි සංශෝධනය කරමින් සේවා විශ්‍රාම වැටුප මේ රණවිරුවන්ට ද ලබාදීමට තීරණය කර තිබිණි. ජනාධිපති කර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය තුළ විදෙස් නියෝජිතයන් පිරිසක් විශේෂ සාකච්ඡාවක ද නිරතව සිටි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවට පත් කරමින් කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමට කළ උත්සාහය පාලනය කිරීමට කටයුතු කරන ලදී.

විශ්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් මුල් කොට ගනිමින් රජය අපහසුතාවට පත් වන ආකාරයේ ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කුමන්ත්‍රණකාරීන් පිරිසකට අවශ්‍යව තිබූ බවත් පසුගිය දින කිහිපය පුරාම ඒ සඳහා උත්සාහ ගත්ත ද පොලිසිය හා ආරක්ෂක අංශ එය අවබෝධ කොට ගෙන ක්‍රියා කර ඇති බවත් තහවුරු වී තිබේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට දැනට ලබාදෙන වැටුප් හා දීමනා, දුබලතා දීමනාවට අමතරව අපේක්ෂිත සේවා විශ්‍රාම වැටුප ගෙවනු ලබන බවට ආරක්ෂක අමාත්‍යාංශය 2016 නොවැම්බර් මස 06 වැනි දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles