Sunday, May 19, 2024

රාජපක්ෂවරු හොරකම් කළා -ඇමති රාජිත

ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමෙන් ආණ්ඩුවේ වැඩටික හරියට කරගැනීමට හැකියාව ඇති බවත්, ඉන් ජනතාවට සේවය කිරීමට ලැබෙන අතරම බලය පවත්වා ගැනීමට ද ඉඩ ලැබෙන බවත්, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් කොපමණ සංඛ්‍යාවක් ආණ්ඩුවට එන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කතා බහ මතුවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට ගැනීමෙන් ජනතාවට එහි බර දැරීමට සිදුවන බව මාධ්‍යවේදීන් පෙන්වාදුන් අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ “ඒකට ඉතින් කරන්න දෙයක් නැ” යනාදි වශයෙනි.

වරප්‍රසාද ලබාදී මන්ත්‍රීවරුන් නොගන්නා බවත්, ආවට පසු වරප්‍රසාද දෙන බවත්, හෙතෙම කියා සිටියේය.

තවද මහින්ද රාජපක්ෂ මහතා උගුරු දණ්ඩ කපා ගන්නා බවට පසුගියදා කළ ප්‍රකාශය ගැනද මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහින්ද හොරකම් කළේ යැයි නොකී බවයි.

තමන් කියා සිටියේ රාජපක්ෂවරු හොරකම් කළ බව යැයිද පැවසූ ඒ මහතා හොරකම් කළේ මහින්ද ‍නොව වටේ සිටි අය යනුවෙන්ද පිළිතුරු දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීම සඳහා අගමැතිවරයා විසින් නිතරම සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව දෙන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ රාජිත ඇමතිවරයා පැවසුවේ ආරක්ෂක කාරණාවලට අදාළව පිළිතුරු දීම සඳහා අගමැතිවරයා එලෙස අවස්ථාව ලබාදෙන බවයි.

තවද අකුරේගොඩ ආරක්ෂක මුලස්ථානය ඉදිකිරීමේදි සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් ගැන සොයාබැලීමට ද ආණ්ඩුව තීරණය කර ඇති බව ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles