Wednesday, January 22, 2025

‘රාජ්‍ය සේවය පිණිසයි‘ කියන වචන තුනට අහිමි වූ ගෞරවය නැවත ගෙන එන්නෙමු! – සුනිල් හෙට්ටිආරච්චි

‘මී මැස්සා‘ යූ ටියුබ් නාලිකාව සමග කරන ලද සාකච්ඡාව ඇසුරෙනි.

ඇයි ඔබතුමා  හිතුවෙ ඡන්දෙ ඉල්ලන්න. මොකද කීර්තිමත් පරිපාලන නිලධාරියෙක් විදියට ඉඳලා, ගෞරවනීය ලෙස විශ්‍රාම ලබල ඉන්න වෙලාවෙ බැනුම් අහන්නවත් ආස හිතුණද?

නෑ. මම හිතනව මේ තමා හොඳම වෙලාව. අපේ ජනවහරේ තියෙනවා එකම අවස්ථාව දෙපාරක් එන්නෑ කියල. මේ අවස්ථාවේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. ඒ බිහිවෙච්ච දේශපාලන සංස්කෘතිය තුළ මෙතෙක් කල් පැල් බැඳගෙන හිටපු පක්ෂ, දේශපාලනඥයො බොහෝ දෙනා සමු අරං තියෙනවා මේ වෙද්දි… ඇතැම් පක්ෂ තේරුම් අරං තියෙනවා තව දුරටත් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රසාදය අපිට නෑ කියල. මේ වෙලාවේ තමයි අලුත් දේශපාලන පක්ෂයකට, අලුතෙන් දේශපාලනයට එන නවකයන්ට හොඳම අවස්ථාව. ඒක හින්දා ජාතික ජනතා පක්ෂය තීරණය කරා ඉතාමත් නවක වෘත්තිකයන් රාශියක් දේශපාලනයට ඉදිරිපත් කරලා අනාගත දේශපාලන දිශානතීන් වල වෙනසක් ඇති කරන්න සහ ඇතිවෙච්ච සංස්කෘතියේ වෙනස තුළ සමබර දේශපාලනයක් ඇතිකරන්න උත්සාහ දරන්න

ඔබ රාජ්‍ය පරිපාලකයෙක් විදියට විවිධ ආණ්ඩු එක්ක කටයුතු කරා. ඒ සියල්ල ප්‍රධාන ධාරාවේ පක්ෂ සහ ඇමතිවරු. ඇයි මෙවර වෙනම අලුත් පක්ෂයකට සම්බන්ධ වෙන්නේ?

මේ පක්ෂය අලුත් පක්ෂයක් නෙවෙයි. ඉතා විශිෂ්ට කීර්තිමත්, දේශපාලනයේ කිසිම චෝදනාවක් නැති පුද්ගලයෙක් තමයි අපේ පක්ෂේ ප්‍රධාන ලේකම්තුමා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මැතිතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කියන පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. ඔහු ඒ පක්ෂ ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසාත්, ඒ පක්ෂ වටා එකතුවන පුද්ගලයන්ගේ තියෙන යම් අඩුපාඩු නිසා එතුමා තීරණය කරල තියෙනවා තමුන් විසින්ම නිර්මාණය කරපු පක්ෂය නවක කණ්ඩායමක් එක්ක ඉදිරිපත් කරල තියෙනව, අලුත් පිරිසිදු සහ දක්ෂිණාංශක පක්ෂයක් ලෙස අනාගතයේදී රටේ සංවර්ධනයට දායක වෙන්න.

ඉතින් සුනිල් හෙට්ටිආරච්චි මැතිතුමනි, කවුද පක්ෂයේ ඉන්නේ ශ්‍රීනාත් පෙරේරා මහතාට අමතරව?

අපේ නායකත්වය අරගෙන තියෙන්නේ ඉතාම තරුණ ඉංජිනේරුවරයෙක්, ඒ වගේම ආයෝජන බැංකු පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන මංජු නිශ්ශංක මහත්මයා. ඔහු මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අතිවිශිෂ්ට තරුණයෙක්. මේ රටේ මේ අපි වගේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරගෙන ඉන්න නිලධාරීන් වගේම ව්‍යාපාර ලෝකයේ ඉන්න දක්ෂ තරුණ ව්‍යවසායකින් දේශපාලනයට අරගෙන ඇවිල්ලා පරණ දේශපාලනයට අභියෝග කරන්න පුළුවන් මට්ටමකට මේ පක්ෂය ඇවිත් තියෙනවා.

ඔබතුමා හිටපු රාජ්‍ය නිලධාරියෙක්, රට තියෙන්නේ ඉතාම අනතුරක. බංකොලොත් වෙලා නැගිටින වෙලාවක. ඔබ මේක දකින්නෙ කොහොමද?

මේක අද ඊයේ ඇති වෙච්ච එකක් නෙවෙයි. 1994 ඇති වෙච්ච වෙනස හෙමින් හෙමින් පැතිරිලා  2006 න් පස්සේ රාජ්‍ය අංශයටත් ආවා, ඉතා විශිෂ්ට රාජ්‍ය සේවය අපකීර්තියට පත්වෙලා තියෙන්නේ දේශපාලකයා එක්ක නිලධාරීන් අනවශ්‍ය ගනුදෙනු කරන්න යාම නිසා ජනතා අප්‍රසාදයට පත්වෙලා තියෙනවා. ඉතින් නැවතත් අපි දේශපාලන සංස්කෘතියේ විශාල වෙනස් ඇති කරන්න ඕනි. ඒ වගේම රාජ්‍ය සේවයට මීට වසර තිහ හතළිහකට කලින් තිබ්බ විශ්වාසය නැවත ඇති කරන්න ඕනි නිසා තමයි අපි ජාතික ජනතා පක්ෂය නව දේශපාලන දර්ශනයක් හා ප්‍රතිපත්ති මාලාවක් එක්ක ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් අනුව මහජනයාගේ සුබසිද්ධිය සඳහා රටේ සංවර්ධනයට හදපු ප්‍රතිපත්ති මාලාවක්. මම විශ්වාස කරනවා මේ ප්‍රතිපත්ති මාලාව ඉදිරි දස වසර තුළ ක්‍රියාත්මක කරන්න පුලුවන් වුණොත් මේ රට විශිස්ට තත්වයට ගේන්නපුළුවන්. ඔබ දන්නවා ඉන්දියාව මේ වන විට චීනයට ඇමරිකාවට අභියෝගකරමින් යන්න හේතුව තමයි, එරට රාජ්‍ය සේවය ඉතා  විහිෂ්ට ලෙස එරට සංවර්ධන ක්‍රියාවලියට දායක වෙලා තියෙනවා. අපේ මේ ඉන්න බෙහෛා් දෙනා ඒ රට ගැන සතුටින් කතාකරනවා. අපි වගේම ඉන්දියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්.

අපි මතක් කරමු ඔබ කටයුතු කරපු රාජ්‍ය ආයතන ගැන වගේම ඔබේ අත්දැකීම් වල යටගියාව?

මම රාජ්‍ය සේවයට බැඳෙන්නේ 1988 විතර. 1991 මම රාජ්‍ය පරිපාලන විභාගය සමත් වෙලා බදුල්ල දිස්ත්‍රික්කයේ පුහුණු නිලධාරියෙක් විදියට තමයි එන්නෙ. ඊට පස්සේ මීගහකිවුල කියන අති දුෂ්කර ප්‍රෙද්ශයේ සහකාර ප්‍රා.ලේ විදියට. අපට පුළුවන් වුණා හිටපු කෙටිකාලය තුළ රජයේ ප්‍රතිපත්ති එක්ක ඒ ප්‍රෙද්ශය හෙමින් හෙමින් සංවර්ධන මාවතට ගේන්න. ඊට පස්සෙ මම සම්බන්ධ වෙනව ඌව පළාත් සභාවට,  මගේ ජීවිතයේ ඉතාම වෙනසක් ඇතිවුණු පළාත් සභාවක්. එහි මහ ඇමතිවරයා අති විශිෂ්ට පුද්ගලයෙක් පර්සි සමරවීර කියල. ඔහු තරුණ නිලධාරීන්ට දේශපාලකයෙක් ලබාදිය යුතු මගපෙන්වීම ලබා දුන්නාත ඒකෙන් තමා අපි රාජ්‍ය සේවයේ නමක් තියාගත්තෙ. දැන් වගේ දූෂිත මිනිස්සු නෙවෙයි. අපි ගොඩක් ගරු කරපු මනුස්සයෙක්. අපිට ලොකු ශක්තියක් වුණා. ඊට පස්සෙ මම කොළඹට එනවා. එතනින් පසු වෘත්තීය පුහුණු අධිකාරිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, ස්ලිඩා ආයතනය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආර්ථික කටයුතු අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය සහ වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ ඉඳලා 2020 වසරේ මම විශ්‍රාම ගත්තා.

මෙච්චර අත්දැකීම් තියෙන නිලධාරියෙක් කියනව ඒ කාල අය වගේ නෙවෙයි දැන් ඉන්න අය දූෂිතයි කියල ඔබ කියනවා.. හොඳ අය හිටියද ? ඔබ හිටපු අමාත්‍යංශ වල අයත් දූෂිතයි කියලද කියන්නේ..?

නෑ නෑ… මම එහෙම කියන්නෑ සමස්තයක් ලෙස කියන්නේ. මා එක්ක වැඩකරපු අය ඉතාම හොඳ කීර්තිමත් අය, තරුණ අය වැඩකරා. මේ ක්‍රියා පටිපාටියෙන් දේශපාලඥයා අත්අරින්න බෑ. මේ ක්‍රියාවලියේ ප්‍රසාම්පාදන කටයුතු නිලධාරීන් අතේ. මේ සියල්ල සිද්ධවෙන්නේ නිලධාරීන්ගේ නොදැනුවත්කමින් නොවේ. නමුත් සමහර ඒවා වළක්වන්න බෑ. දැන් පාස්පෝට් සිද්ධිය ගන්නකො. ප්‍රසම්පාදන කටයුත්තු දෙකක් තමා ප්‍රධාන ගැටලුව වුණේ.  එක්ක පාස්පෝට් මිලදී ගැනීම අනෙක තමා එතෙක් හිටපු ඇමති වීසා නිකුත් කරපු දේට අලුත් පටිපාටියක් ගැනීම. නිලධාරීන් වැඩේ හරියට කරා. දේශපාලකයො ඇගිලි ගැහුවා. ඒකෙන් වුණේ වැඩේ පරක්කු වුණා. ඒ වගේම ඒක නොලැබිය පැතිවලට ගලාගෙන ගියා. ඒකෙන් දුක් වින්දේ මේ රටට විදේශ විනිමය ගේන විදේශිකයින් අනික් පැත්තෙන් නිලධාරීන් දඩුවම් ලබන තත්ත්වයකට පත්වෙලා. සල්ලි අරගෙන පාස්පෝට් පෝලිමේ ඉන්න රටක්ද මේක? ඒවා නිවැරදි විය යුතුයි. අපේ ප්‍රතිපත්ති තුළ තියෙනව නවීන ක්‍රමවේදයක් රාජ්‍ය සේවය හදන්න පුළුවන්. ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේද. නිකං කතා නෙවෙයි ඒවා. ඉන්දියාව දුප්පත් ජනතාවට ගෙවන මුදල් ඉතා පහසුවෙන් ඒ මිනිස්සු අතට යනවා. ලංකාවේ වගේ දඟලන්න, මහා ලොකු ක්‍රියාවලියක් කරන්න ඕනි නෑ. දත්ත පද්ධතිය හදපුවාම වැඩේ ඉතා පහසුයි. මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යද්දි ෆයිල් අහස උසට ගොඩගැහිලා තිබුණා. ග්‍රැටිවිටි ගෙවාගන්න බැරුව තිබුණා. මම කරේ පරිගණක පද්ධතිය සම්බන්ධ කරලා බැංකු එක්ක ලින්ක් කරා. දැන් කෙලින්ම සල්ලි වැටෙනවා. ඉස්සර බැංකු දවස් 7ක් කරේ විශ්‍රාම වැටුප් හදන එක ඉස්සර. දැන් එක බොත්තමකින් ඒවා ගිණුම්ගත වෙනවා. රටේ ජාතික ධනය බැංකුවල පවා ඉතිරි වුණා. එහෙම වැඩ කරා අපි. විශ්‍රාම වැටුප් ලබන කුමන හෝ පුද්ගලයට සිද්ධ වුණා වාර්ෂිකව ජීවිත සහතික ලබාදෙන්න. මම දන්නෑ ඇයි එහෙම කොළ කෑලි දෙන්න යන්න ඕනි කියල. මම අලුතෙන් විශ්‍රාම ගිය අයට බැංකුවකට ගිහින් ඇගිලි සලකුණ ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනරයකට තිබ්බාම ලේසියෙන් අප්ඩේට් වෙන ක්‍රමය හැදුවා. දැන් තමුන් මැරිලා නෑ ජීවත් වෙනවා කියල ග්‍රාමසේවකගෙන් ලියුම් අරං ප්‍රා.ලේ කාර්යාල ගාණේ බඩගාන්න ඕනි නෑ. ඉස්සර ජීවිත සහතිකය නොදුන්නහම විශ්‍රාම වැටුප ඉබේම නවතිනවා. අර වයසක මනුස්සයා අපහසුතාවට පත්වෙනවා.  මේකෙන් පහසුව අත්විඳින්නේ විශ්‍රාම වැටුප්ලාභියා විතරක් නෙවයි, ප්‍රා.ලේකම්, ග්‍රානිලධාරී අනවශ්‍ය වැඩ වලට යොමුවෙන්නැතුව මේවා අපි සරල කරල තියෙනවා. ඒකයි තාක්ෂණය ගේන්න කියන්නේ.

ඔබතුමා කොච්චර හොඳ වුණත් මේ පාර දිනන්න පුළුවන්ද?

අපි දිනන්න තමා යන්නේ. හැබැයි අපිට ආණ්ඩු පිහිටවන්න බෑ. මේ රටේ මිනිස්සු මීට මාසෙකට විතර කලින් කරපු විප්ලවීය වෙනස තුළ ඔවුන් ඒ වැඩේ කරගෙන යාවි. හැබැයි අපි දන්නවා අනෙකුත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට මෙරට ඡන්ද දායකයා  රැවටෙන්නෑ…මිනිස්සු හොයන්නේ නවක මිනිස්සු. අනාගතය දකින පිරිසිදු මිනිස්සු හොයන්නේ. මෙරට 2000න් පස්සෙ ඉපදිච්ච ළමයි පතන්නේ අලුත් ලෝකයක්, ඩිජිටල්කරණයත් එක්ක යන ලෝකයක්. ඔවුන්ට ඒ සඳහා දූෂණයෙන් තොර අනාගත දැක්මක් සහිත දේශපාලකයො ඔවුන් හොයනවා. මම පාර්ලිමේන්තුවට ගිහින් මෙරට රාජ්‍ය සේවකයෝ වෙනුවෙන් පෙනී හිටින්න. ඔවුන්ට එල්ල වෙලා තියෙන අපකීර්තියෙන් බේරගන්න කරුණු ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ ගැටලු පක්ෂ විපක්ෂ අයට ඉදිරිපත් කරලා විසඳුම් ලබාදෙන්න සහ ඔවුන්ව නියෝජනය කරන්න තමයි මාව තෝරගත්තේ. මම මෙරට රාජ්‍ය සේවකයන්ට පොරොන්දු වෙනවා ඔබ වෙනුවෙන් පෙනී හිටින්න මට පුළුවන්. මා විසින් ගොඩනගාත්තු නෙට්වර්ක් එක නිසා මට යමක් පාර්ලිමේන්තුවෙදි කරන්න පුලුවන්.

මේ වෙලාවෙදි ඔබේ ඒ රාජ්‍ය සේවක එකතුවෙන් තැපැල් ඡන්දය වගේ දේවල් ලැබෙයිද?

මේක නවකයන්ව ඉදිරියට ගේන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඡන්දදායකටන්ට අපි ආයාචනා කරනවා පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු ටිකක් එවන්න කියල. ඔබ විසින් පත්කරපු රජයක් තියෙනවා, ඒකට ශක්තියක් වෙන්න, ශක්තිමත් විපක්ෂයක් හදන්න හඬක් නැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. අපේ පක්ෂයෙත් උගත්, බුද්ධිමත් තරුණ වගේම සමබර කණ්ඩායමක් ඉන්නවා.. වැඩි කාන්තා නියෝජනයක් අපිට ඉන්නවා. අනෙක් සියලුම පක්ෂවලට අපි ඉදිරියෙන් ඉන්නවා කියල අපි විශ්වාස කරනවා. ඉතින් අපිට අවස්ථාව දෙන්න…

ඔබේ මැතිවරණ විස්තරය කිව්වොත් සුනිල් මහත්මයා.?

ජාතික ජනතා පක්ෂයෙන්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මම මැතිවරණයට තරග කරනවා අංක 18න්. විදුලි බල්බය ලකුණින්. ඉතින් මාව ඉදිරියට ගෙනාවොත් නියත වශයෙන් මම කරපු වැඩ වල අත්දැකීම් එක්ක රටේ රාජ්‍ය සේවය මහජන හිතකාමී සේවයක් කරල අපේ රටේ සංවර්ධනයට අලුත් පිටුවක් පෙරළන්න මට දායක වෙන්න පුළුවන්.


Related Articles

Latest Articles