රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද යුක්රේන බුද්ධි අංශ අනාවරණයක් සිදු කර තිබෙනවා. එම බුද්ධි වාර්තා පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින්නේ රුසියාවේම ප්‍රභූන් පිරිසක් හා ධනවත් ව්‍යාපාරිකයින් පිරිසක් බවයි.
ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වස පානය කිරීමට සලස්වා ඔහුව ඝාතනය කිරීම එම සැලසුම බව යුක්රේන බුද්ධි අංශ අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමට රුසියාව තුලින්ම සැලසුම් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගේ බටහිර විරෝධී ක්‍රියාකලාපය බවටයි වාර්තා වන්නේ. ඊට අමතරව යුක්රේන අර්බුදය හමුවේ රුසියාවට එරෙහිව බටහිර රටවල් ප්‍රධානව ජාත්‍යන්තරයෙන් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවේ ව්‍යාපාර ක්ෂේත්රය මුහුණ පා ඇති අසීරුතා ද රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව රට තුලින්ම විරෝධතා පැන නැගීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කළහොත් බටහිර රටවල් සමග යලිත් වෙළඳ ගණුදෙනුවලට එලඹිය හැකි බව පුටින් විරෝධීන්ගේ මතය වී තිබෙනවා.
ඒ අනුව ව්ලැදිමීර් පුටින් ඝාතනය වුවහොත් මීළගට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පත් කරන පුද්ගලයාව ද මේවනවිට කුමන්ත්රණකරුවන් විසින් තෝරා ගෙන ඇතැයි ද යුක්රේන බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා.
එලෙස පත්කර ගැනීමට සැලසුම් කර ඇති පුද්ගලයා රුසියානු ආර්ක්ෂක අංශයක ප්‍රධානියෙකු බවයි වාර්තා වන්නේ.
යුක්රේන ආක්රමණයේ පළමු සති තුන තුලදී රුසියානු හමුදාව ලද පරාජයන් හා ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු හමුදාවේ ජෙනරාල්වරුන් තනතුරුවලින් පහ කිරීම වැනි හේතූන් නිසා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අදාල ආරක්ෂක අංශ ප්‍රධානියා අතර පැවති හොඳහිත ද මේවනවිට පලුදු වී ඇතැයි යුක්රේන බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.