“සන්ඩේ ලීඩර්“ හිටපු කර්තෘ සහ ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 6 ක් සහ මාස 9 ක් දැනටමත් ගතවී අවසන්ය. තවමත් නිල ලේඛන වලට අනුවනම් ලසන්තගේ ඝාතනය “ඇඩ්රස් නැති මර්ඩර්“ එකක්ය. පසුගිය ආණ්ඩුව සමයේ පශ්චාත් යුද ජයග්‍රහණයේ චූන් එකේ සිටි උදවියට ලසන්තගේ ඝාතනය ගැන සොයන්නට අවශ්‍යවූයේ නැත. යන්නං වාලේ යන්නට ගිය ලසන්තගේ ඝාතන පරීක්ෂණ පණගන්වන්නට කියා ජනමාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් විවිධ අවස්ථාවලදී දැඩි බලපෑම් කරන්නට පෙළඹුනත් පසුගිය රජය සමයේ එය නිසියාකාරව සිදු නොවිය.
කෙසේ වුනත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ යම්තාක් දුරට සිදුවූ නිසා එහි ඝාතකයන් පිළිබඳ සෙවීමේ විමර්ශණ ක්‍රියාත්මක වීම සිදුවන අතරේ ආණ්ඩු මාරුවත් සිදුවිය. අලුත් ආණ්ඩුව මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදුවුණ ඝාතන ගැන පරීක්ෂණ වේගවත් කරන්නට උත්සහ ගන්නා බව පෙනෙන්ට ඇත. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ පරීක්ෂණ ඉදිරියට යමින් ඇත්තේ හොඳ ප්‍රගතියක්ද සමගින්ය. එය හොඳ තත්වයක් කියා එහෙමටම කියන්නට ඉඩක් නැති වුනත් කෙසේ හෝ පරීක්ෂණ සිදුවීම අගය කල යුතුය.
ප්‍රගීත් ඝාතනයේ පරීක්ෂණ එලෙසින් ක්‍රියාත්මක වෙද්දී ලසන්තගේ ඝාතනයේ පරීක්ෂණ කටයුතු සඳහා ජනතාවගේ තොරතුරු ඉල්ලමින් අපරාධ පරීක්ෂණ අංශ සියළුම මාධ්‍ය හරහා දුරකතන අංක ලබාදෙමින් අමුතුම සෙල්ලමක් පටන් ගත්ත බව පෙනෙන්නට ඇත. එය හරියටම පරීක්ෂණ මැදින් නවත්වා ආයෙත් මුල සිට සිදුකරන අලුත් ක්‍රමවේදයකි. ඒත් ඉස්සරහට ජනතාවගේ හෝඩුවාවල් නොලැබී ගියහොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පැමිණ ලසන්තගේ ඝාතනය ගැන ජනතාවගේ පැත්තෙන් ප්‍රතිචාරයක් නැති නිසා නිශ්චිත හෝඩුවාවල් මදිකමින් පරීක්ෂණ ඇණ හිට ඇතිබව මාධ්‍යයට කිවහොත් කිසිසේත්ම පුදුම නොවිය යුතුය. ඒ මක්නිසාද යත් මේ ලංකාව වීම නිසා සහ ඒ ලංකාවේ පොලීසිය වීම නිසාය.