Saturday, May 18, 2024

වැරදි ක්‍රියා කරන නිලධාරීන් සේවයෙන් ඉවත් කරනව -පොලිස්පති

නිල ඇදුම් සහිතව වැරදි ක්‍රියාකරන පොලිස් නිලධාරින් නිසි මගට යොමු කළ නොහැකි නම් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ නිල ඇදුම් සහිතව වැරදිකරන පුද්ගලයන් නැතැයි කිව නොහැකි බවත් එලෙස වැරදි ක්‍රියා කරන නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බව උඩුනුවර වෙලම්බඩ දී 452වන පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08)  එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කීවේය.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ පොලිස්පතිවරයා පොලිස් උත්තමාචාර මැද පිළිගත් අතර අනතුරුව මහා සංඝරත්නය ඇතුලු සර්ව ආගමික නියෝජිතයන්ගේ ආශිර්වාද මධ්‍යයේ නව පොලිස් ස්ථානය විවෘත කෙරිණි.

වෙලම්බඩ ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් ඉදිකිරීම නිසා කඩුගන්නාව, ගම්පොල, දවුලගල වැනි පොලිස් ස්ථානකරා සේවා වෙනුවෙන් ගිය මහජනතාවට නව පොලිස් ස්ථානයෙන් සේවය ලබා ගත හැකි බව උත්සවයේ දී රැස්ව සිටි පිරිස හමුවේ පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

මහජනයා හා පොලිසිය වඩාත් සමීප කරවීමේ අරමුණ ඇතිව ජංගම සේවා නව වැඩසටහනක් දියත් කරන බව කී පොලිස්පතිවරයා එහිදී මෙසේ ප්‍රකාශ කළේය.

ගම තුළ වැරදි කරන පුද්ගලයන් පිළිබදව ඉතා නිවරැදි තොරතුරු දන්නේ වෙන කිසිවෙකුත් නොව ඔවුන්ගේ ගමේ සිටින ගම් වැසියන්ය. නමුත් ඔවුන් පොලීසියට තොරතුරු ලබා දීමට මැළිවන්නේ තොරතුරක් ලබා දුන් බව හෙළිවෙයි යන බියෙන්. නමුත් නව ජංගම වැඩසටහන තුළින් ජනතාව තුළ පවතින බිය හා සැකය දුරු කළ හැකියි. මේ තුළින් පොලීසිය හා ජනතාව වඩා සමීප කරවන්න පුළුවන්. එමෙන්ම ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, පරිසර විනාශ හා හානි කිරීම ඇතුලු දහසකුත් වැරදි කරන්නන් වැරදි කිරීමට ද බියක් මේ තුළින් ඇති වෙනවා.

පොලිසිය හා මහජනතාව සමිපවීම තුළින් ඔවුන් අතර දැඩි විශ්වාසයක් හා බැදීමක් සිදුවන නිසා ගම තුළි සිදුවන සියලු තොරතුරු ඉතා විශ්වාසනීය හා රහසිගතව ලබාගැනීමේ හා ලබා දීමේ හැකියාව නිර්මාණය වෙනවා.

නමුත් පොලිසිය තුළ මගේ නිලධාරීන් සියල්ලම හොදයි කියලා මම කියන්නේ නැහැ. නිල ඇදුම ඇදගෙන වැරදි කරන සුළු පිරිසක් ඉන්න පුළුවන්. මට අවශ්‍ය එක්කෝ ඒ අය හදන්න, නැත්තම් අයින් කරන්නයි. මේක හුරතල් කර කර ඉන්න පුළුවන් කාලයක් නොවෙයි.

වත්මන් රජයේ අතිගරු ජනාධිපතිතුමා හා අග්‍රමාත්‍යතුමා මට උපදෙස් දී තිබෙන්නේ පොලිස් සේවය ස්වාධීනව සිදු කරන ලෙසයි. දෙපාර්තමේන්තුවක්ව තිබූ පොලීසිය, ශ්‍රී ලංකා පොලීසිය ලෙස නම් කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්ම පොලිසිය ස්වාධීන කරවීමට නිති රෙගුලාසි සකස් කළා. ස්වාධීන පොලිස් කොමිෂන් සභාව පිහිටවූ අතර පොලිස් නිලධාරීන්ට පහසුකම් ලබාදී ඔවුන්ට පහසුවෙන් වැඩ කළ හැකි ස්ථානයක් බවට පොලීසිය පත් කළා.

පොලිස් නිලධාරීන්ගේ වැටුප 40%කින් ඉහළ නැංවූ අතර එහි ප්‍රථම අදියර යටතේ 17%ක වැටුප ඉහළ නංවා ලබා දුන්නා. නිතිය හා සාමය සුරක්ෂිත කිරීමේ පරම වගකීමක් අපට පැවරෙනවා.

මෙරට මේ වන විට 452ක් වන පොලිස් ස්ථානවලින් තෝරා ගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ජංගම පොලිස් සේවා ක්‍රියාත්මක කරවීමට අප කටයුතු කරනවා. තොරතුරු විශ්වාසවන්තව ලබා ගැනීම තමයි ඉතාම වැදගත් වන්නේ. පොලීසියට තොරතුරු ලබා දෙන අය එම තොරතුරු විකිණෙනවාට කැමති නැහැ. තොරතුරි දීමේදී හා ලබා ගැනීමේදී විශ්වාසනීයත්වයක් හා රහස්‍යභාවයක් තිබිය යුතුයි.

උසස් පොලිස් සේවයක් දියත් කිරීමේ අරමුණ යටතේ විශිෂ්ඨ වූ ව්‍යාපෘතියක් අප කඩිනමින් දියත් කරනවා. ඒ යටතේ මෙම වර්ෂය තුළ පොලීසිය සදහා ලැබී ඇති සියලු පැමිණිලි අවම වශයෙන් 70%කින්වත් නිම කිරීමට අප කටයුතු කරනවා. මෙ සාර්ථකව කළ හැක්කේ මම රැකියාවේදී තර්ජනයක් වන නිසයි. අප මේ ඇදුම් දරා සිටින්නේ මහජනයා වෙනුවෙන්. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම සේවය කළ යුතුයි. මහජන මුදලින් නඩත්තුවන සේවයක් වන බැවින් අප මහජනයාට කඩිනම් සේවයක් ලබා දිය යුතු යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර, මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහත්වරු ඇතුලු පිරිසක් සහභාගීව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles