Saturday, May 18, 2024

විශේෂ පොලිස් ඒකකය විසුරුවන්න තලතාගෙන් බලපෑම්

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුයුක්තව පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන අංශය විසුරුවා හැර තමන්ට හිතවත් පිරිසක් ඒ සඳහා යොදවා ගැනීමට විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය කටයුතු කර ඇත.

මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් අයදුම්පත් කැඳවීමකින් තොරවම සම්මුඛ පරීක්ෂණයක් ද පවත්වා ඇත. ඇමැතිවරිය පොලිස්පතිවරයාට ලබා දුන් රහසිගත ලැයිස්තුවට අනුව එම සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත්තේ 2015.10.05 වන දිනය. සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිට ඇත්තේ අමාත්‍යවරියගේ දේශපාලන හිතවත්කම් සහිත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වන අතර ඔවුන් මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කර විවිධ වැරැදි සම්බන්ධයෙන් එම ඒකකයෙන් නෙරපා හැර සිටි පිරිසකි.

1995.12.24 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පිහිටුවා ඇත.

ඇමැතිවරියගේ වුවමනාව මත විසුරුවා හැරීමට සූදානම් වන පොලිස් නිලධාරීන් කණ්ඩායම 2011 වර්ෂයේ පොලිස් සේවයේ පළපුරුදු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත් නිලධාරීන් පිරිසකි. එම පිරිසට 14 දෙනකු ඇතුළත්ය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ස්ථානාධිපති කළමනාකරු ලෙස සේවය කරයි. ඒකකය පිහිටවූ දිනයේ සිටම මේ දක්වා මෙවැනි අත්තනෝමතික ස්ථාන මාරුවීම් ලබා දී නොමැති අතර අතුකෝරල ඇමැතිවරිය මෙම ස්ථාන මාරුවීම් වහාම ක‍්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට බලපෑම් කර ඇත්තේ පොලිස් කොමිසම පිහිටුවීමට පෙර දිනයක් ලිපියට ඇතුළත් කරමිනි.

දේශපාලන හේතුන් මත විශේෂ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායම ස්ථාන මාරු කිරීමට එරෙහිව විදේශ සේ්වා නියුක්ති කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

 

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles