Thursday, May 16, 2024

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි වෙනවා යැයි කියන චෝදනාවේ ඇත්ත නැත්ත

වෛද්‍යවරුන්ගේ දරුවන් 200 කට පමණ 2016 වසර සඳහා පාසල් නොලැබීම හේතුවෙන් විරෝධතා පවත්වන බව පවසමින් ඊයේ(21) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඔවුන් දිගින් දිගටම පවසන්නේ මාරුවීම් පදනම මත වසර 5 ක ස්ථිර පදිංචිය සනාථ කිරීමට නොහැකිවීම මත ඔවුන්ගේ දරුවන්ට පාසල් අහිමි වන බවයි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශයන්හි සත්‍යතාවය ජනතාවට සහ මාධ්‍යයට හෙලි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වන බැවින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළෙමු.

මෙරට අධ්‍යාපන පද්ධතියෙහි ජාතික පාසල් 352 ක් ක්‍රියාත්මක වන අතර ඉහත සඳහන් කළ ගැටලූ සඳහා මූලික වී ඇත්තේ එම පාසල් 352 අතුරින් ද ජනප්‍රිය පාසල් 20 කටත් අඩු සංඛ්‍යාවක් සඳහා මෙම දරුවන් ඇතුළත් කර ගැනීමට ඔවුන් දරන උත්සාහයයි. 

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, බණ්ඩාරවෙල, ගම්පහ ආදි ප‍්‍රදේශයන්හි පවතින ජනප‍්‍රියතම පාසල් සඳහා සිය දරුවන් ඇතුළත් කර ගැනීම මෙම වෛද්‍යවරු බොහෝ දෙනෙකුගේ අරමුණයි.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 160 දෙනෙකු, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ 105 දෙනෙකු,  අධ්‍යාපන අමාත්‍යාංශයේ 297 දෙනෙකු, ගුරුවරුන් 745 දෙනෙකු, විනිශ්චයකරුවන් 29 දෙනෙකු, විශේෂඥ වෛද්‍යවරුන් 42 දෙනෙකු, දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ 22 දෙනෙකු සහ විභාග දෙපාර්තමේන්තුවේ 26 දෙනෙකු මෙන්ම අනෙකුක් රාජ්‍ය සේවාවන්ට අයත් ස්ථාන මාරු පදනම මත 57 දෙනෙකු තම දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

මේ වනවිටත් ඉහත ඉල්ලීම් අතුරින් සාධාරණ ඉල්ලීම් සිදු කර ඇති නිලධාරීන් ගේ දරුවන් සඳහා අවශ්‍ය පාසල් ලබාදීමට පියවර ගෙන ඇති අතර තවදුරටත් පියවර ගනිමින් සිටී.

නමුත් ප‍්‍රශ්න ගත තත්ත්වය මතුව තිබෙන්නේ 1500 කට අධික පිරිසක් තමන්ගේ දරුවන් සඳහා ජනප‍්‍රියතම ජාතික පාසල් 20 කට වඩා අඩු සංඛ්‍යාවක් තුළ අවස්ථාව ලබා දෙන ලෙස සිදු කරන ඉල්ලීමයි.

විශේෂයෙන්ම ප‍්‍රශ්නගත තත්ත්වය තුළ තම දරුවන්ට පාසල් අහිමි බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් සාධාරණ නොවන බව අනාවරණය වී තිබේ.

පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේ දී පවතින චක‍්‍රලේඛයන්ට අනුව රජයේ අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්ගේ දරුවන් හට විශේෂ ලකුණු ප‍්‍රමාණයක් හිමිවේ. එමෙන්ම විදේශගතව සිට පැමිණෙන නිලධාරීන්ගේ දරුවන් සඳහා ද විශේෂ ලකුණු ප‍්‍රමාණයක් ලබාදීම සිදු වන්නකි. මෙම තත්ත්වය වෛද්‍යවරුන්ට මෙන්ම සියලූම රජයේ සේවකයන්ට පොදුවේ බලපැවැත්වෙන්නකි. එමෙන්ම අතරමැදි ශ්‍රේණි සඳහා මාරුවීමේ පදනම මත දරුවන් ඇතුළත් කිරීමේ දී සේවා ස්ථාන මාරුවීමක් ලබා තිබේ නම් ඒ බව සනාථ කෙරෙන ලිපියක්, සේවය කළ ස්ථානයෙන් මුදාහැරීමේ ලිපියක්, නව සේවා ස්ථානයේ රාජකාරි බාරගත් බව සනාථ කෙරෙන ලිපියක්,  මෙන්ම දරුවා දැනට ඉගෙන ගන්නා පාසලේ විදුහල්පති නිර්දේශය සමඟ දරුවා පාසලට ඇතුළත් කිරීමේ අයදුම්පතක් ද ඉදිරිපත් කළ යුතුයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා ඉල්ලුම් කර ඇති නිලධාරීන්ගෙන් 95‍% කට ආසන්න ප‍්‍රමාණයක් එම තොරතුරු මෙතෙක් ලබාදී නැත.

එමෙන්ම එම ඉල්ලීම් අතුරින් බොහොමයක් අසාධාරණ ඉල්ලීම් බව පැහැදිලි වී තිබේ. උදාහරණයක් ලෙස ගම්පහ සිට ගම්පහ බෙම්මුල්ලට මාරුවීමක් ලද වෛද්‍යවරයෙකු තම දරුවා සඳහා කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය ඉල්ලුම් කිරීම, කුරුණෑගල සිට නිකවැරටියට මාරුවීමක් ලද වෛද්‍යවරයා කුරුණෑගල මලියදේව පිරිමි පාසල තම දරුවාට ලබා දෙන ලෙස ඉල්ලීම, පේරාදෙණියේ සිට මහනුවරට මාරුවූ වෛද්‍යවරයා මහනුවර මහාමායා විද්‍යාලය ඉල්ලා සිටීම. හෝමාගම සිට මහරගමට මාරු වූ වෛද්‍යවරයා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ඉල්ලා සිටීම, ගම්පහ වතුපිටිවල රෝහලේ සිට ගම්පහට මාරුවුනු වෛද්‍යවරයා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ඉල්ලා සිටීම, මෙවැනි ආකාරයෙන් සාධාරණ නොවන ඉල්ලීම් සිදු කරමින් තමා මාරුව ලබාගත් ප‍්‍රදේශයේ පාසලක් වෙනුවට කොළඹ නගරයේ ජනප‍්‍රිය පාසල් හෝ වෙනත් ප‍්‍රදේශයක ජනප‍්‍රිය පාසලක් ඉල්ලූම් කිරීම කෙතරම් දුරට යුක්ති ගරුකද ?

මේ හරහා පාසල් අහිමි වන නගර ආශ‍්‍රිත ජනප්‍රිය ජාතික  පාසල්  වලට අයදුම් කර ඇති විශේෂ වරප‍්‍රසාද අහිමි සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට සිදුවන්නේ විශාල අසාධාරණයකි.

මෙම මානුෂීය කාරණාව  නිවැරදිව අවබෝධ කර ගැනීමත්, සැමට සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමත් සිදු කළ යුතු නොවේ ද ?

මාධ්‍ය ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles