Monday, May 20, 2024

ශානි උඹ දැනගනින් මම මිනීමරුවෙක්‌ එළියට ආපු දාට කරන දේ බලාගනින්

නිලධාරීන්ට මරණීය තර්ජන කළ වාස්‌ ගුණවර්ධනට එරෙහි නඩුව

මොහොමඩ් ෂියාම් ඝාතනයට අත්අඩංගුවට ගන්න ගිය විට
ශානි උඹ දැනගනින් මම මිනීමරුවෙක්‌ ; එළියට ආපු දාට කරන දේ බලාගනින් යෑයි වාස්‌ ගුණවර්ධන තර්ජන කළා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ශානි අබේසේකර සාක්‌කි දෙමින් කියයි

සිදුකළ විමර්ශන අනුව කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනයට එවකට කොළඹ උතුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා මෙන්ම ඔහුගේ පුතා වන රවිඳු වාස්‌ ගුණවර්ධනත් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණා. වාස්‌ ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීමට පියවර ගන්නා ලෙස මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මට උපදෙස්‌ දුන්නා. ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පසු මා කීවා සර් මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ඔබතුමාව අත්අඩංගුවට ගන්නා බව. එවිට ඔහු ශානි උඹ දැනගනින් මම මිනීමරුවෙක්‌ මාව හැමදාම ඇතුළේ තියාගන්න බෑ එළියට ආපු දවසට කරන දේ බලාගනින් කියා මා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කළේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ශානි අබේසේකර මහතා කොළඹ මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදීම ශානි අබේසේකර මහතා ඇතුළු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට බැණවැදී මරණීය තර්ජනය කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී පැවැත්විණි.

පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා මෙසේ ද පැවසීය.

1986 වසරේදී ආධුනික උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙසයි මම පොලිස්‌ දෙපාර්තමේන්තුවට එක්‌වුණේ. 1999.1.10 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියට එක්‌වුණා. එහි සේවය කරමින් සිටින විට 2007 සැප්තැම්බර් 27 වැනිදා සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස උසස්‌වීම් ලැබූ මම යාපනය ප්‍රදේශය භාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා ලෙස කටයුතු කිරීමට ගියා. යළි 2009.04.01 වැනිදා මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියට පැමිණියා.

2013 මැයි මස කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැත්තාව පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබුණා. බම්බලපිටිය පොලිසිය හා කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් සිදුකළ එම පරීක්‍ෂණ කටයුතු පොලිස්‌පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණා. මා එවකට එම දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ එම පරීක්‍ෂණ සිදු කළා. වාස්‌ ගුණවර්ධන මහතා යටතේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන අනුව වාස්‌ ගුණවර්ධන මහතා ද එම ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණා. මා ඒ මහතාව දන්නවා. ඔහු සමග මගේ කිසිම අමනාපයක්‌ තිබුණේ නෑ.

එම තොරතුරු පොලිස්‌පතිතුමාටත් මගේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂතුමා ලෙස කටයුතු කළ ගාමිණි මතුරට මහතා ඇතුළු නිලධාරීන්ටත් දන්වා වාස්‌ ගුණවර්ධන මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක්‌ කළා. 2013.6.10 වැනිදා උදැසන 11.00 ට විතර වාස්‌ මහත්තයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ආවා. 4 වැනි මහලේ පිහිටි අධ්‍යක්‍ෂතුමාගේ නිල කාමරයේ සිට 5 වැනි මහල වෙත ඔහුව කැඳවාගෙන ආවා ප්‍රශ්න කිරීමට. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිතුමාගේ නිල කාමරයේදී තමයි ඔහුගෙන් ප්‍රශ්න කළේ. එවිට එවකට පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ රංජිත් මුණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ද එහි සිටියා. ඔහුගේ ප්‍රකාශය රාත්‍රි 9.15 පමණ අවසන් කොට එම ප්‍රකාශයේ සටහන කියෑවීමට ඔහුට දුන්නා. කියවලා බලලා අත්සන් කරන්න කියලයි එම ප්‍රකාශය දුන්නේ. එතුමා එය කියවූ පසුව මම කීවා සර් දැන් ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියලා. එවිට ඔහු එකපාරටම ඉඳගෙන හිටිය පුටුව පස්‌සට දාලා නැගිට්‌ටා. මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා කියලා හැබැයි උඹලට බෑ හැමදාම මාව මේක ඇතුළේ තියාගන්න. ශානි මම මිනීමරුවෙක්‌. මම එළියට ගිය දාට උඹලට කරන දේ බලාගනිල්ලා කියලා ඔහු තර්ජනය කළා. එවිට එතැන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන රංජිත් මුණසිංහ, දිසානායක, පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා, උප පොලිස්‌ පරීක්‍ෂක උපාලි හා ප්‍රේමතිලක යන නිලධාරීන් සිටියා. ඔහුගේ එම තර්ජනය කිරීමෙන් අපිට මරණය හෝ බරපතළ තුවාල සිදු කරන බව හැඟී බියට පත් වුණා.

ඒ වන විටත් වාස්‌ ගුණවර්ධන මහතාගේ ක්‍රියාවන් ගැන අපි දැනගෙන සිටි නිසා ඔහුගේ තර්ජනය ගැන මා තුළ බියක්‌ ඇති වුණා.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔබ එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයෙක්‌. විත්තිකරු ඔබට වඩා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරිවරයෙක්‌. කනිෂ්ඨ නිලධාරිවරයකුට පුළුවන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකුව අත්අඩංගුවට ගන්න.

සාක්‍ෂිකරු – එහෙමයි ස්‌වාමිනි, අපරාධ නීතිය යටතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහුව අත්අඩංගුවට ගැනීමට කනිෂ්ඨ නිලධාරියකුට හැකියාව සහ බලය තිබෙනවා. නමුත් ඒ සඳහා විනය පරීක්‍ෂණයකදී පොලිස්‌පතිවරයා විසින් බලය පැවරීමක්‌ කර තිබිය යුතුයි. එවැනි බලය පැවරීමක්‌ කර නැතිනම් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකුගෙන් ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට කනිෂ්ඨ නිලධාරිවරයකුට බෑ.

වැඩිදුර විභාගය ලබන 27 වැනිදා දක්‌වා කල් තැබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles