1982 ජනවාරි 23 දා සම්මත වූ පනතකට අනුව එම වසරේම 14 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවනු ලැබිණ. අද සිය 40 වන සංවත්සරය සමරන ජාතික රූපවාහිනිය 1982 පෙබරවාරි 15 වන දා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කතාව සජීව ලෙස විකාශය කරමින් ප්‍රථම වරට සිය විකාශන කටයුතු ඇරඹීය.
ඒ අනුව ජාතික රූපවාහිනිය නිල සේවාව ආරම්භ කරන ලද්දේ 1982 වර්ෂයේ පෙබරවාරි මස 15 වනදායි.
රූපවාහිනී සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ ජපන් රජය විසිනි. එහි මුල් ම සභාපතිවරයා වූයේ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ එම් ජේ පෙරේරා මහතාය.
ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණු මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත මාධ්‍ය කලාවක් ස්ථාපනය කිරීමෙහිලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉෂ්ට කළ, නාළිකාවකට එහා ගිය විශ්වකෝෂයක් බඳු වූ විද්‍යුත් මාධ්‍යයට පාර කියූ තැනක් ඇත්නම් ඒ ජාතික රූපවාහිනියයි.
හඬ පෞරුෂයට තෝතැන්නක් වූ ගුවන් විදුලි මහ ගෙදර හා සමගාමීව රූප කාචයට ද එවැනිම තෝතැන්නක් වූ ජාතික රූපවාහිනිය අපගේ රටේ මාධ්‍ය මෙහෙවර සැකසීමේ ලා ප්‍රමුඛම කාර්යය ඉටුකළ ආයතනයත් වීය.
ජාතික රූපවාහිනිය සිය හතළිස් වන උපන්දිනය සමරන දිනය අදයි. වසර හතළිහක් පුරා නිකළැල් සේවයක් සැපයීමටත් ප්‍රමිතිය උසස්ම ආකාරයකින් රැකගැනීමටත් ජාතික රූපවාහිනිය සිදු කළ කාර්යභාරය අතිමහත්ය.
රටක ගෞරවනීය විය යුතු සියලු අංශ උපරිමයෙන්ම ගෞරවයට භාජනය කළ ජාතික රූපවාහිනිය 1982 ජනවාරි 23දා පනත හරහා තහවුරු වූ නියමයන් පරිදි 1982 පෙබරවාරි 15 දින සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදි.
සමස්ත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් සිංහල දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික රූපවාහිනිය සිය සේවාවන් පවත්වයි .
1998 දී ජපාන අනුග්‍රහය යටතේ පෙර තිබූ උපාංගයන් බොහෝමයක් නව තාක්ෂණය යටතේ ප්‍රතිස්ථාපනය කරන ලදී. 1999 දී රූපවාහිනී 2 නමින් තවත් නාලිකාවක් ආරම්භ වූ අතර 2000 දී එය Channel Eye යනුවෙන් නැවත නම්කරන ලදී. 2008 ජනවාරි 1 දා එය එකම සංඛ්‍යාතය බෙදාගෙන විකාශන කටයුතු කරන නාලිකාවක් බවට පත් විය. ඒ නේත්‍රා ටීවී නමින් දමිළ නාලිකාව ස්ථාපිත වීමත් සමගයි.
මුදලට එහා ගිය, ලාභය ඉපයීම ප්‍රමුඛ තැන්හිලා නොසලකමින් විද්‍යුත් මාධ්‍ය අතරේ ප්‍රමිතිකරණයේ පළමු තැනට ගෙන ඒම අභිප්‍රාය කොටගත් කොට ගත් ජාතික රූපවාහිනිය ආරම්භක සභාපති වූයේ එම්. ජේ.පෙරේරා මහතාය.
සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු දෙකම සංවිධානාත්මකව සැලැස්මක් ඇතුව රූපවාහිනී වැඩසටහන් පෙළ ගැස්මවීම මනා ක්‍රියාකාරීත්වක් ඉටුකිරීම පිළිබඳ සියලුම ගරුත්වය හිමිවිය යුත්තේ එම්. ජේ.පෙරේරා මහතාටය.
ශ්‍රී ලාංකීය සාහිත්‍යයට “ටෙලිනාට්‍ය” නමැති පදය පවා හඳුන්වා දුන් විශිෂ්ට නාට්‍යවේදී ධම්ම ජාගොඩ නාට්‍ය අංශයේ ප්‍රධානියා විය. මඩවල එස් රත්නායක ආචාර්ය සලමන් ෆොන්සේකා, සෝමසිරි ඉලේසිංහ,සේන කොතලාවල, පියදාස රත්නසිංහ ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, බර්ට්‍රම් නිහාල් ප්‍රනාන්දු, ටයිටස් තොටවත්ත, අබේවර්ධන බාලසූරිය මානෙල් කුරේ විජේමාන්න,ගිවන්ත අර්ථසාද්, හීනටිගල ප්‍රේමදාස රූපවාහිනිය හැඩ කෙරූ විශිෂ්ටයෝ වූහ.
ශ්‍රී ලංකාව තුළ විදෙස් ටෙලි කතා මාලාවක් හඬකවා විකාශය කළ මුල් ම නාලිකාව වන්නේ ද ජාතික රූපවාහිනියයි. ඒ 1989 දී ‘ඔෂින්’ විකාශය කිරීමත් සමගයි. අන්තර්ජාලයට අනුව රටවල් බොහෝ ගණනක විකාශය වූ ඔෂින් ස්වදේශ බසින් හඬකවා විකාශය කර ඇත්තේ රූපවාහිනියයි.
ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස ලබා දෙන ලද්දේ ජපන් රජය විසිනි. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර හැත්තෑවක් සපිරෙන්නේ ද ශ්‍රී ලංකා රූපවාහිනියට වසර හතළිහක් සපිරෙන්නේද මෙම වර්ෂයේදී ය.
සැන් ප්‍රැන්සිස්කෝ නුවරදී කළ “නහිවේරේන වේරානී” කියන කතා කතාව මූල පාදකය කරගනිමින් එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙත ජපන් රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර ඇත. රූපවාහිනී ආරම්භක අවස්ථාවේදී එහි භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ආනන්ද තිස්ස ද අල්විස් මහතාය.
රූපවාහිනී නාලිකාවල ජනප්‍රියත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව අද දවසේ වැඩිමනක් කතාබහට ලක්වන වටපිටාවක, ජාතික රූපවාහිනිය රාජ්‍ය මාධ්‍යයක් ලෙස අනන්‍යතාවයකින් යුතුව සිය වගකීම රට වෙනුවෙන් වසර 40ක් පුරා ඉතාමත් වගකීමෙන් සහ ගුණාත්මක ලෙසින් ඉටු කළේය.
1982 වර්ෂයේ ආරම්භයත් සමගම, තරඟකාරීත්වයෙන් යුතු විද්‍යුත් මාධ්‍ය සම්ප්‍රදායක් රටපුරා බිහි වූ පසුබිමක ලාභය අපේක්ෂාවෙන් තොරව ගුණාත්මක ප්‍රවෘත්ති සහ වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමේ ප්‍රමුඛ කාර්යය වසර 40 ක් පුරා සිය මෙහෙවර ලෙස ඉටු කිරීම යනු ඉතාමත් බැරෑරුම් කාර්යයකි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද වන ව්ට ශ්‍රී ලංකාවේ විශාලතම රූපවාහිනී විකාශන ජාලය වන අතර ප්‍රධාන විකාශනාගාරය පිහිටා ඇත්තේ පිදුරුතලාගල කන්දේය. දමිළ ජනතාව ජීවත් වන උතුරු පළාත ඇතුළුව දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි තම විකාශන කටයුතු ශ්‍රී ලංකාව පුරාවට ව්‍යාප්ත වන පරිදි සිදු කරගෙන යයි .