Monday, April 29, 2024

සාළිස් වසරක් සපුරා මැදිවියට එළැඹි ජාතික රූපවාහිනිය

1982 ජනවාරි 23 දා සම්මත වූ පනතකට අනුව එම වසරේම 14 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවනු ලැබිණ. අද සිය 40 වන සංවත්සරය සමරන ජාතික රූපවාහිනිය 1982 පෙබරවාරි 15 වන දා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කතාව සජීව ලෙස විකාශය කරමින් ප්‍රථම වරට සිය විකාශන කටයුතු ඇරඹීය.

ඒ අනුව ජාතික රූපවාහිනිය නිල සේවාව ආරම්භ කරන ලද්දේ 1982 වර්ෂයේ පෙබරවාරි මස 15 වනදායි.

රූපවාහිනී සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ ජපන් රජය විසිනි. එහි මුල් ම සභාපතිවරයා වූයේ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ එම් ජේ පෙරේරා මහතාය.

ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණු මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත මාධ්‍ය කලාවක් ස්ථාපනය කිරීමෙහිලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉෂ්ට කළ, නාළිකාවකට එහා ගිය විශ්වකෝෂයක් බඳු වූ විද්‍යුත් මාධ්‍යයට පාර කියූ තැනක් ඇත්නම් ඒ ජාතික රූපවාහිනියයි.

හඬ පෞරුෂයට තෝතැන්නක් වූ ගුවන් විදුලි මහ ගෙදර හා සමගාමීව රූප කාචයට ද එවැනිම තෝතැන්නක් වූ ජාතික රූපවාහිනිය අපගේ රටේ මාධ්‍ය මෙහෙවර සැකසීමේ ලා ප්‍රමුඛම කාර්යය ඉටුකළ ආයතනයත් වීය.

ජාතික රූපවාහිනිය සිය හතළිස් වන උපන්දිනය සමරන දිනය අදයි. වසර හතළිහක් පුරා නිකළැල් සේවයක් සැපයීමටත් ප්‍රමිතිය උසස්ම ආකාරයකින් රැකගැනීමටත් ජාතික රූපවාහිනිය සිදු කළ කාර්යභාරය අතිමහත්ය.

රටක ගෞරවනීය විය යුතු සියලු අංශ උපරිමයෙන්ම ගෞරවයට භාජනය කළ ජාතික රූපවාහිනිය 1982 ජනවාරි 23දා පනත හරහා තහවුරු වූ නියමයන් පරිදි 1982 පෙබරවාරි 15 දින සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදි.

සමස්ත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් සිංහල දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික රූපවාහිනිය සිය සේවාවන් පවත්වයි .

1998 දී ජපාන අනුග්‍රහය යටතේ පෙර තිබූ උපාංගයන් බොහෝමයක් නව තාක්ෂණය යටතේ ප්‍රතිස්ථාපනය කරන ලදී. 1999 දී රූපවාහිනී 2 නමින් තවත් නාලිකාවක් ආරම්භ වූ අතර 2000 දී එය Channel Eye යනුවෙන් නැවත නම්කරන ලදී. 2008 ජනවාරි 1 දා එය එකම සංඛ්‍යාතය බෙදාගෙන විකාශන කටයුතු කරන නාලිකාවක් බවට පත් විය. ඒ නේත්‍රා ටීවී නමින් දමිළ නාලිකාව ස්ථාපිත වීමත් සමගයි.

මුදලට එහා ගිය, ලාභය ඉපයීම ප්‍රමුඛ තැන්හිලා නොසලකමින් විද්‍යුත් මාධ්‍ය අතරේ ප්‍රමිතිකරණයේ පළමු තැනට ගෙන ඒම අභිප්‍රාය කොටගත් කොට ගත් ජාතික රූපවාහිනිය ආරම්භක සභාපති වූයේ එම්. ජේ.පෙරේරා මහතාය.

සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු දෙකම සංවිධානාත්මකව සැලැස්මක් ඇතුව රූපවාහිනී වැඩසටහන් පෙළ ගැස්මවීම මනා ක්‍රියාකාරීත්වක් ඉටුකිරීම පිළිබඳ සියලුම ගරුත්වය හිමිවිය යුත්තේ එම්. ජේ.පෙරේරා මහතාටය.

ශ්‍රී ලාංකීය සාහිත්‍යයට “ටෙලිනාට්‍ය” නමැති පදය පවා හඳුන්වා දුන් විශිෂ්ට නාට්‍යවේදී ධම්ම ජාගොඩ නාට්‍ය අංශයේ ප්‍රධානියා විය. මඩවල එස් රත්නායක ආචාර්ය සලමන් ෆොන්සේකා, සෝමසිරි ඉලේසිංහ,සේන කොතලාවල, පියදාස රත්නසිංහ ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, බර්ට්‍රම් නිහාල් ප්‍රනාන්දු, ටයිටස් තොටවත්ත, අබේවර්ධන බාලසූරිය මානෙල් කුරේ විජේමාන්න,ගිවන්ත අර්ථසාද්, හීනටිගල ප්‍රේමදාස රූපවාහිනිය හැඩ කෙරූ විශිෂ්ටයෝ වූහ.

ශ්‍රී ලංකාව තුළ විදෙස් ටෙලි කතා මාලාවක් හඬකවා විකාශය කළ මුල් ම නාලිකාව වන්නේ ද ජාතික රූපවාහිනියයි. ඒ 1989 දී ‘ඔෂින්’ විකාශය කිරීමත් සමගයි. අන්තර්ජාලයට අනුව රටවල් බොහෝ ගණනක විකාශය වූ ඔෂින් ස්වදේශ බසින් හඬකවා විකාශය කර ඇත්තේ රූපවාහිනියයි.

ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස ලබා දෙන ලද්දේ ජපන් රජය විසිනි. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර හැත්තෑවක් සපිරෙන්නේ ද ශ්‍රී ලංකා රූපවාහිනියට වසර හතළිහක් සපිරෙන්නේද මෙම වර්ෂයේදී ය.

සැන් ප්‍රැන්සිස්කෝ නුවරදී කළ “නහිවේරේන වේරානී” කියන කතා කතාව මූල පාදකය කරගනිමින් එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙත ජපන් රජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර ඇත. රූපවාහිනී ආරම්භක අවස්ථාවේදී එහි භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ආනන්ද තිස්ස ද අල්විස් මහතාය.

රූපවාහිනී නාලිකාවල ජනප්‍රියත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව අද දවසේ වැඩිමනක් කතාබහට ලක්වන වටපිටාවක, ජාතික රූපවාහිනිය රාජ්‍ය මාධ්‍යයක් ලෙස අනන්‍යතාවයකින් යුතුව සිය වගකීම රට වෙනුවෙන් වසර 40ක් පුරා ඉතාමත් වගකීමෙන් සහ ගුණාත්මක ලෙසින් ඉටු කළේය.

1982 වර්ෂයේ ආරම්භයත් සමගම, තරඟකාරීත්වයෙන් යුතු විද්‍යුත් මාධ්‍ය සම්ප්‍රදායක් රටපුරා බිහි වූ පසුබිමක ලාභය අපේක්ෂාවෙන් තොරව ගුණාත්මක ප්‍රවෘත්ති සහ වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමේ ප්‍රමුඛ කාර්යය වසර 40 ක් පුරා සිය මෙහෙවර ලෙස ඉටු කිරීම යනු ඉතාමත් බැරෑරුම් කාර්යයකි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද වන ව්ට ශ්‍රී ලංකාවේ විශාලතම රූපවාහිනී විකාශන ජාලය වන අතර ප්‍රධාන විකාශනාගාරය පිහිටා ඇත්තේ පිදුරුතලාගල කන්දේය. දමිළ ජනතාව ජීවත් වන උතුරු පළාත ඇතුළුව දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි තම විකාශන කටයුතු ශ්‍රී ලංකාව පුරාවට ව්‍යාප්ත වන පරිදි සිදු කරගෙන යයි .

ත්‍රිමූර්තිය-
1982 පෙබරවාරි 15 දින රූපවාහිනී සංස්ථාව විවෘත කළ දිනයේ ඒ සඳහා පුරෝගාමීවූ තිදෙනා රූපවාහිනී භූමියේදී එකට එක්වී සිටි අවස්ථාවේ අශෝක අබේරත්න ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ අයුරු. ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් සහ ප්‍රථම රූපවාහිනී සභාපති එම්.ජේ. පෙරේරා යන මහත්වරුන් සහ විකාශන කුළුන එකම කාචයක සටහන් වූ අයුරු. මෙම පිංතූරයේ මැද එදා උත්සවය වර්ණවත් කිරීමට දායකවූ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදන කණ්ඩායමේ බටනලා වාදනය කරන ශිල්පිණිය කව්දැයි ඔබ දන්නවාද? රූපවාහිනිය ආරම්භ වී අවුරුද්දකින් පමණ එහිම සේවයට පැමිණ, අද වනවිට අධ්‍යාපන සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එරින් විජේකෝන් මහත්මියයි.
1982 පෙබරවාරි 15 දින සම්භාවනීය අමුත්තන් විසින් ඵලකය විවෘත කිරීම. වම් කෙළවෙර් සිටින්නේ හිටපු  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
සුමනා නෙල්ලම්පිටිය
1982 ජනාධිපතිවරණය විකාශනය
ජාතික රූපවාහිනිය
1982 පෙබරවාරි මස 14 වැනි දින, අතිගරු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා විසින් ජාතික රූපවාහිනිය ආරම්භ කරන ලද අතර, රූපවාහිනී විකාශය ආරම්භ කරන ලද්දේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමන් විසිනි .
එවකට රොස්මන්ඩ් සේනාරත්න මහතා ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්

1982 ප්‍රථම ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයෝ සිය මැතිවරණ කතා රූපවාහිනිය ඔස්සේ පැවැත්වීම සඳහා ජාතික රූපවාහිනී සංස්ථාවට එදා පැමිණියහ. මෙහි දැක්වෙන්නේ තරග වැදුණු එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා එදා රූපවාහිනී ප්‍රධාන ආලින්දයට පැමිණ අමුත්තන්ගේ පොතේ අත්සන් තැබූ ආකාරයයි. ඔහු අසලින් සිටින්නේ රූපවාහිනියේ අධ්‍යක්ෂවරයෙකු වූ එච්.එම්. ගුණසේකර මහතාය. පිංතූරයේ වම් පසින් සිටින අනෙක් තැනැත්තා කව්දැයි හඳුනා ගත නොහැක.
මේ 1982 වසරයි. එනම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කළ වසරයි. එම වසරේ අවසන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්විණ. අපේක්ෂකයින් 6 දෙනෙක් තරග වැදිණ. ජේ.ආර්.ජයවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, හෙක්ටර් කොබ්බෑකඩුව, කුමාර් පොන්නම්බලම්, වාසුදේව නානායක්කාර සහ රෝහණ විජේවීර ඒ හය දෙනාය. මැතිවරණ ප්‍රචාරය සඳහා එක් එක් අපේක්ෂකයින්ට තම මැතිවරණ කතා රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන්නේය. මෙහි දැක්වෙන්නේ ලංකාවේ ප්‍රථම ජනාධිවරණය සඳහා රෝහණ විජේවීර මහතා රූපවාහිනී මැදිරියේ තම කතාව පැවැත්වීමට සූදානම්වන මොහොතයි. අසලින් සිටගෙන ඉන්නේ එවකට රූපවාහිනියේ වේශ නිරූපන අංශයේ ප්‍රධානියාව සිටි සහ එදින විජේවීර මහතාව හැඩ ගැන්වූ ප්‍රවීන වේශ නිරූපණ ශිල්පී ඩෙරික් ප්‍රනාන්දු මහතායි. මේ පිරිස අතරින් අද ජීවතුන් අතර සිටින්නේ වාසුදේව නානායක්කාර මහතාත් ඩෙරික් ප්‍රනාන්දු මහතාත් පමණි.
ජාතික රෑපවාහිනිය සතු Outside Broadcasting හෙවත් බාහිර විකාශන රථයක්
ප්‍රේමකීර්ති ද අල්විස් ජාතික රෑපවාහිනියේ සේවය කරන කළ ලබාගත් දුර්ලභ ඡායාරූපයක්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles