Saturday, May 18, 2024

‘ෆ්ලෑග් ෆුට්බෝල්’ අද සහ හෙට කොළඹ දී

අමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සැලකෙන ‘අමෙරිකන් ෆුට්බෝල්’ ක්‍රීඩාවේ ප්‍රාථමික ක්‍රමවේදයට අනුව සැලසුම් කරනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය ‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලිය අද (4) සහ හෙට (5) පෙරවරු 9.00 සිට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. ඉන්දීය එලයිට් පාපන්දු ලීගයේ ශ්‍රී ලංකා ශාඛාවේ මෙහෙයවීමෙන් එස්.ඒ.ජී.ටී. කුසලානය සඳහා වන ෆ්ලෑග් ෆුට්බෝල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි වරටය.

විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් සමග විවිධ අධ්‍යාපනික ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් තරග වදින ෆ්ලෑග් ෆුට්බෝල් තරගාවලියේ මූලික වටයේ දී කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම තරග 4කට සහභාගි වෙති. සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයන් සහ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම දෙවැනි වටයේ දී කුසලානය සඳහා තරග වැදීමට නියමිතය.

එක් එක් කාණ්ඩයන් හී තුන්වැනි සහ සිවුවැනි තැනට පත්වන කණ්ඩායම් බඳුන ශූරතාවට එක්වන අතර ඉන් පරාජයට පත්වන කණ්ඩායම් පළිහ ශූරතාවට ද, කුසලාන වටයේ තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් පළඟ ශූරතාවට ද තරග වදිනු ඇත.

දෙවැනි වරටත් සවුත් ඒෂියා ගේට් වේ ටර්මිනල්ස් සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ‘ෆ්ලෑග් ෆුට්බෝල්‘ තරගාවලිය පැවැත්වෙන පළමු දිනයේ දී ආධුනික ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ ස්වභාවය පිළිබඳ විශේෂ දැනුමක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ.

මීට වසර 5කට පෙර ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ෆ්ලෑග් ෆුට්බෝල් ක්‍රීඩාව වර්තමානය වනවිට මෙරට ප්‍රධාන දිස්ත්‍රික් රැසක ජනප්‍රියත්වයට පත්වී ඇතැයි තරගාවලිය පිළිබඳ පෙරේදා පස්වරුවේ කොළඹ සී.ආර්. ක්‍රීඩා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේ දී ඉන්දීය එලයිට් පාපන්දු ලීගයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

‘පසුගිය වසරේ තරගාවලියට කණ්ඩායම් 16ක් එක්වී සිටියත් මෙවර එය කණ්ඩායම් 20 දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම අපි පහුගිය දිනවල යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරමින් පාසල් 6ක දරුවන්ට ෆ්ලෑග් ෆුට්බෝල් ක්‍රීඩාව පිළිබඳ වැඩ සටහන් කිහිපයක්ම පැවැත්වුවා. විශ්වවිද්‍යාලයීය සිසුන් අතර මේ වනවිට ෆ්ලෑග් ෆුට්බෝල් ක්‍රීඩාවට ලැබී ඇත්තේ ප්‍රමුඛස්ථානයක්. ඉදිරියේ දී මෙය දීපව්‍යාප්ත කිරීමට විවිධ වැඩ සටහන් රැසක් සැලසුම් කොට තිබෙනවා. දැනට අපිට සිටින පුහුණුකරුවන්ට අමතරව මේ ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කරන්න ෆ්ලෑග් ෆුට්බෝල් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩකයන් ද පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.’ ඩිල්රෝයි මහතා කීවේය.

‘ෆ්ලෑග් ෆුට්බෝල්’ තරගාවලියේ පළමු දිනය වන අද පෙරවරු 8.30ට මූලික වටයේ තරග ආරම්භ වන අතර ඊට තරග 40ක් ඇතුළත්ය. දෙවැනි දිනය වන හෙට පෙරවරු 9.00 සිට කුසලාන වටයේ සහ බඳුන ශූරතා තරග වටයේ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වේ. ඉන් අනතුරුව පළිහ, බඳුන, පළඟ සහ කුසලාන වටයේ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියේ අවසන් මහා තරග හෙට පස්වරු 3.30ට ආරම්භ වන අතර කුසලාන වටයේ අවසන් මහා තරගය පස්වරු 5.00ට ඇරැඹේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles