Friday, May 17, 2024

20-30 අයට එන්නත් දීම ආරම්භ කලේ ඇයි ? හමුදාපති උත්තර දෙයි

වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාණ්ඩයට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ නිර්දේශ අනුව බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අවුරුදු 30 ට වැඩි පිරිසට බූස්ටර් මාත්‍රාවක් දීම හෝ 20 ත් 30 ත් අතර කාණ්ඩයට එන්නත්කරණය ආරම්භකිරීම යන දෙකෙන් වඩාත් සුදුසු කුමක්දැයි නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය විද්වතුන්ට දැනුම් දී තිබූ බවයි යුධ හමුදාපතිවරයා කියාසිටියේ.

ඒ අනුව ඊයේ දිනයේදී 20-30 කාණ්ඩයේ එන්නත්කරණය ආරම්භ කල බව ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලා.

කෙසේවෙතත් එම කාණ්ඩයේ ලක්ෂ 08 ක් පමණ වන සැළකිය යුතු පිරිසකට දැනටමත් එන්නත් ලබාදී අවසන් බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඇගලුම් ක්ෂේත්‍රය වැනි ඇතුලු අත්‍යවශ්‍ය සේවා වල රැකියාවල නිරත වන්නන් ඒ අතර වනවා.

ඒ අනුව අවුරුදු 20 – 30 කාණ්ඩයේ එන්නත් නොලද අයට ඊයේ සිට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

මේ අතර ලබන සතිය තුළදී තවත් එන්නත් මාත්‍රා මිලියන 08 ක් දිවයිනට ලැබීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කලේ.

මේ අතර වයස අවුරුදු 12 ත් 18 ත් අතර පිරිසට එන්නත් ලබාදීම ආරම්භ කිරීම පිළිබඳවද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරුණු පැහැදිලි කලා.

ඔහු කියාසිටියේ වෛද්‍ය නිර්දේශ අනුව ලක්ෂ 35 ක් පමණ වන එම කාණ්ඩයටද එන්නත් ලබාදීම ආරම්භ කරන බවයි.

පසුගිය දිනවල රට තුළ කොවිඩ් තත්වය සළකා බලා ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අවසාන තීරණයක් අද පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනෙන බවයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles