Friday, September 20, 2024

20 -20 ශූරයන්ට කෝටි 32 ක්… සම්පූර්ණ තෑගි මුදල කෝටි 112 ක්… විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයත් එයි

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක තෑගි මුදලක් හෙවත් රුපියල් කෝටි 32 ක මුදලක් 2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරයන්ට පිරිනැමීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර ඇත.

තරගයේ අනුශූරයන් සඳහා ඩොලර් ලක්‍ෂ 8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 16 ක මුදලක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් දෙක සඳහා ඩොලර් ලක්‍ෂ 04 බැගින් හෙවත් රුපියල් කෝටි 8 බැගින් පිරිනැමීමටත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය කටයුතු යොදා ඇත.

2021 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන 16 ක් වන අතර ඉන් කණ්ඩායම් 8 ක් කාණ්ඩ දෙකක් යටතේ සුදුසුකම් ලැබීමේ තරග වටයකට කී‍්‍රඩා කිරීමට නියමිත අතර ඉන් එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 12 දෙනාගේ වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.

එසේ සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් නොලබා සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ඉවතට යන කණ්ඩායම් 4 සඳහා ද ඩොලර් 40000 බැගින් එනම් රුපියල් ලක්‍ෂ 80 බැගින් ලබාදීමට නියමිතය.

සුපිරි 12 දෙනාගේ වටයේදී ඉවතට යන කණ්ඩායම් ගණන 8 ක් වන අතර එම කණ්ඩායම් සඳහාද ඩොලර් 70000 බැගින් එනම් රුපියල් ලක්‍ෂ 140 (කෝටි 1.4* බැගින් බෙදා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව තරගාවලියේ කණ්ඩායම් අතරේ බෙදා දීමට නියමිත තෑගි මුදල්වල සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක් හෙවත් රුපියල් ලක්ෂ 112 ක් පමණ වේ.

එසේම මෙවර තරගාවලියේ සෑම තරගයකදීම එක් ඉනිමක පන්දුවාර 10 ක් අවසානයේ විනාඩි දෙකයි තත්පර 30 ක කෙටි විවේක කාලයක් ලබා දීමටත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය කටයුතු යොදා ඇත.

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාවද සුදුසුකම් ලැබීමේ තරග යටතේ තරග වැදීමට නියමිත අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරන ‘ඒ’ කාණ්ඩයට අයත් වන අනෙක් කණ්ඩායම් 3 වන්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැම්බියාවයි.

එමෙන්ම විනිසුරු තීරණ විමසීමේ (විතීවි) ක‍්‍රමවේදයක් පළමුවරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී භාවිතා කිරීම මෙවර තරගාවලියේදී සිදු කෙරේ.

මින් පෙර පැවැති 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිවලදී විතීවි ක‍්‍රමය භාවිතයට ගෙන නොතිබූ අතර විතීවි පළමු වරට 20 – 20 තරග සඳහා යොදා ගැනීම 2017 වසරේදී සිදු වූ අතර අවසන් 20 – 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත් වූයේ 2016 වසරේදීය. සෑම කණ්ඩායමකටම ඉනිමකදී උපරිම වශයෙන් විතීවි අවස්ථා දෙක බැගින් හිමි වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles