සංචාරක බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායම පරාජය කර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන්ද එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමට අද (23දා) හැකිවිය. ඒ අනුව තරග 05කින් සමන්විත මෙම තරගාවලියේ බංග්ලාදේශ පරාජය තරග 4-0ක් දක්වා වැඩිකිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 තුළදී ලකුණු 08ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 224ක් පමණි.
ඉනිම ගොඩනැගූ නායක එස්.එම්. මෙහෙරොබ් පන්දු 71කදී ලකුණු 52ක් රැස්කරද්දී, ඊට අගනා සහායක් දුන් අරිෆුල් ඉස්ලාම් ලකුණු 50ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවන් නායක දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 10 තුළදී ලකුණු 45කට කඩුලු 04ක් දවාගත්තේය.
කෙසේ නමුත් මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමටද ජයග්‍රාහී ඉලක්කය හඹායාම පහසු නොවූ අතර, ඔවුන් සිය ජයග්‍රහණය සම්පූර්ණ කළේ කඩුලු 09ක් දැවී තරගය අවසන්වීමට පන්දු 03ක් පමණක් ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ මැදපෙළ පිතිකරු රවීන් ද සිල්වා පන්දු 100කට මුහුණදෙමින් ලකුණු 88ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 09ක් ඇතුළත් විය.