ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා වැඩි ඡන්ද 9කින් යළිත් පත් වෙයි.
සුබ්‍රමනියම් මහතා ඡන්ද 21ක් ගනිද්දී ඒ මහතා සමඟ තරග කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් හිමි කර ගත්තේය. ඔලිම්පික් මහ ලේකම් තනතුරට ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා යළිත් පත් වූ අතර, ඒ මහතා ඡන්ද 23 ක් ගනිද්දී ප්‍රතිවාදී අපේක්ෂක ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ මහතා ඡන්ද 10ක් සටහන් කළේය.
මෙයට පෙර වසර 2018දී අවසන්වරට පැවති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා රොහාන් ප්‍රනාන්දු මහතා තරග කළ අතර, එහිදී සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් හා රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් හිමි කර ගත්තේය. මහ ලේකම් තනතුර සඳහා වූ සටනේදී වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19ක් හා ප්‍රීති විරාජ් පෙරේරා මහතා ඡන්ද 12ක් හිමි කර ගත්හ.
මෙවර නිලවරණයේදී සුබ්‍රමනියම් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ බහුතර පිරිස ඔලිම්පික් විධායක සභාවට තේරී පත්වීම විශේෂත්වයකි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ඊයේ පස්වරු 5ට ඔලිම්පික් නිවහනේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ අතර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට වරම් ඇති මෙරට ක්‍රීඩා සංගම් 33ක ඡන්ද බලයෙන් වසර 4ක කාලයකට නිලධාරීහු පත් කෙරුණහ.
උප සභාපති තනතුරු 4ක් වෙනුවෙන් නාමයෝජනා 6ක් තිබූ අතර සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් සුරන්ජිත් ප්‍රේමදාස, නිලු ජයතිලක හා හා ජෝසප් කෙනී යන මහත්ම මහත්මීහු ජයග්‍රහණ වාර්තා කළ අතර, පාලිත ප්‍රනාන්දු පාර්ශ්වයෙන් තරග කළ කංචන ජයරත්න මහතා ජය වාර්තා කළේය. ප්‍රීති පෙරේරා හා රිස්ඩි ෆාහීම් යන මහත්වරු තේරී පත් නොවූහ. උප සභාපති තනතුරු වෙනුවෙන් නාමයෝජනා භාරදී සිටි බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් හා හොකී සංගමයේ සභාපති කමල් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ නාමයෝජනා කලින්ම ප්‍රතික්ෂේප වී තිබිණි.
භාණ්ඩාගාරික තනතුරට සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් ගාමිණී ජයසිංහ හා පාලිත ප්‍රනාන්දු පාර්ශ්වයෙන් අජිත් සියඹලාපිටිය යන මහත්වරු තරග කළ අතර, ගාමිණී ජයසිංහ මහතා තේරී පත්විය. ජයසිංහ මහතා මෙයට පෙර ද ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේය.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට දින 4ක් තිබියදී සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් නාම යෝජනා දී සිටි නියෝජ්‍ය ලේකම් වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ හා නියෝජ්‍ය භාණ්ඩාගාරික ශිරන්ත පීරිස් යන මහත්වරු නිතරගයෙන් තේරී පත්වීම විශේෂත්වයකි. නියෝජ්‍ය ලේකම් තනතුරට තරග කළ කරන්දෙණිගොඩ මහතාගේ හා නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට නාමයෝජනා දුන් ශිරන්ත පීරිස් යන මහත්වරුන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් මේ තත්ත්වය නිර්මාණය විය.
ඔලිම්පික් කමිටු නිලවරණය අවසන් වරට 2018 පෙබරවාරි මාසයේ පැවැති අතර වසර 4ක නිලවරණ කාලය නිමාවීමට මාස 2ක් ඉතිරිව තිබියදී සාමාජික ක්‍රීඩා සංගම් වෙත යළිත් ඡන්ද අයිතිය හිමි කර දී තිබූ අතර ඡන්ද විමසීම ඡන්ද පත්‍රිකා භාවිතා කරමින් රහස්‍ය ආකාරයෙන් සිදු විය. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් එම අමාත්‍යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. රනුග්ගේ හා අනුර ජයවික්‍රම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් මඟින් මෙහෙයවිය.
ජාතික ඔලිම්පික් නිලවරණයේ ඡන්ද ප්‍රතිඵල මෙසේය:
සභාපති (තනතුරු 1යි): සුරේෂ් සුබ්‍රමනියම් (ඡන්ද 21), පාලිත ප්‍රනාන්දු (ඡන්ද 12)
උප සභාපති (තනතුරු 4යි): නිලූ ජයතිලක (ඡන්ද 20), කංචන ජයරත්න (ඡන්ද 20), සුරංජිත් ප්‍රේමදාස (ඡන්ද 19), ජෝසප් කෙනී (ඡන්ද 19), රිස්ඩි ෆාහීම් (ඡන්ද 18), ප්‍රීති පෙරේරා (ඡන්ද 12)
ලේකම් (තනතුරු 1යි): මැක්ස්වෙල් ද සිල්වා (ඡන්ද 19), මොහාන් විජේසිංහ (ඡන්ද 12)
භාණ්ඩාගාරික (තනතුරු 1යි): ගාමිණී ජයසිංහ (ඡන්ද 23), අජිත් සියඹලාපිටිය (ඡන්ද 10)
නියෝජ්‍ය භාණ්ඩාගාරික (නිතරගයෙන්): ශිරන්ත පීරිස්
නියෝජ්‍ය ලේකම් (නිතරගයෙන්): වින්ග් කමන්ඩර් චන්දන ලියනගේ.