ඇතුලෙදී නොකියා එළියෙදී විවේචනය වැරදියි

0
294

ආණ්ඩුවේ සිටිමින් එහි අභ්‍යන්තරයේ දී විවේචන ඉදිරිපත් නොකර, එළියේ දී ආණ්ඩුව විවේචනය කිරීම කැබිනට් සම්ප්‍රදායට පටහැනියැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

එසේ අභ්‍යන්තර ප්‍රශ්න විවෘතව විවේචනය කිරීමෙන් දුර්විපාක රාශියක් අනිවාර්යයෙන් ඇති වන බැවින් එවැනි හැසිරිමක් කිසිසේත් සුදුසු නැතැයි ද අමාත්‍යවරයා කීය.

ජී එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ අභ්‍යන්තර විවේචන පිළිබඳ කර ඇති ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය එය බව ද ප්‍රකාශ කළේය.

දරුණු අභියෝගවලට මුහුණ දී එයින් ගොඩ ඒමට ශ්‍රී ලංකාව තුළ සහජ ශක්තියක් තිබෙන බව ඉතාමත් පැහැදිලි යැයි ද, එබැවින් අභියෝග තමන්ට ප්‍රශ්නයක් නොවන්නේ යැයි ද කී අමාත්‍යවරයා සාර්ථකව අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය ප්‍රධාන සාධක වන්නේ දැඩි අධිෂ්ඨානය, එකමුතුකම, හා අනෝන්‍යය සහයෝගය යැයි ද කීය.

රජය තුළ විවේචනයක් ඇත්නම්, එය සැලකීමට භාජනය කර නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම උචිතම ප්‍රතිචාරය බවත්, විවේචනය කරන පුද්ගලයාට විරුද්ධව පියවර ගැනීම යෝග්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති ප්‍රකාශය කිසිසේත්ම තමන් පිළිගන්නේ නැතැයි ද පොදුජන පෙරමුණු සභාපතිවරයා කීය.

විවෙචන තිබිය යුතු නමුත්, මේ සම්බන්ධව ලෝකයේ පිළිගත් මූලධර්ම ඇතැයි ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ආණ්ඩුව තුළ වගකීම් භාර අරගෙන තිබේ නම් එම තත්වයක් තුළ ආණ්ඩුව තුළ වරදක් ඇත්නම් නිවැරදි කිරීමට අවශ්‍යවයන්නේ ආණ්ඩුව තුළ සිටිමින් යැයි ද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here