Saturday, September 21, 2024

ටෙන්ඩරෙත් හොරට යන රේගුවේ කන්ටේනර් ස්කෑන් කෙරුවාව!

ශ‍්‍රී ලංකා රේගුවේ කන්ටේනර් ස්කෑන් කිරීම සඳහා යෝජිත BOT (Build Operate and Transfer) ව්‍යාපෘතියේ ටෙන්ඩර් ලියවිලි සකස් කිරීම සඳහා ටෙන්ඩරය ඉල්ලූම් කළ සමාගමකම නියෝජිතයකුට බාර දී ඇතැයි වාර්තා වේ. 

 

මේ වන විට ටෙන්ඩරය ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා ඉල්ලූම් කළ Smith Detection  නම් ජර්මන් සමාගමට පමණක් ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එම ටෙන්ඩර් තොරතුරු සකස් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ලියකියවිලි (EOI) කැඳවන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන භාගයේදීය.

 

එහෙත් නව රජය බලයට පත් වීමෙන් පසුව මහ මැතිවරණය තෙක් ටෙන්ඩරය ලබා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ මෙම ව්‍යාපෘතිය නව ඇගැයුමකට පත් කළ යුතු බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ උපදෙස් මත බව ද වාර්තා වේ.

 

රූපානන්ද ?

 

 ඒ අනුව මේ සඳහා අවශ්‍ය පිරිවිතරය (ලියවිල්ල පිළිබඳ සම්පූර්ණ විස්තරය) සකස් කිරීම සඳහා පත් කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සහ රූපානන්ද නමැත්තෙකි.

 

රූපානන්ද යනු මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලූම් කළ Smith Detection සමාගමේ ශ‍්‍රී ලාංකික නියෝජිතයා වන අතර Exel Trading (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරයා  වන්නේ ද ඔහුය. එසේම මහාචාර්යවරයා සහ රූපානන්ද යන තැනැත්තා හිතවතුන් වන බව ද වාර්තා වේ.

 

විශේෂ ප‍්‍රාගුණ්‍යයක් සහිතව සිදු කළ යුතු යැයි සඳහන් වන මෙම ව්‍යාපෘතිය සඳහා ලොව ප‍්‍රකට සමාගම් 5ක් ඇතුළුව සමාගම් 10ක් සඳහා 2015 පෙබරවාරි මස 09 වන දින ලංසු කැඳවා ඇත.

 

එම සමාගම් දහය වන්නේ Rotex Limited, Sathsindu Shipping, Nuctech, Exel Treading (Pvt)Ltd, SNG Enterprises, SGS from Switzerland, Epic Lanka (Pvt)Ltd, Visual Defence, Rapiscan Systems, Cotecna Inspection SA ය.

 

කෙසේ වෙතත් මේ වන විට ටෙන්ඩරය සඳහා ඉල්ලූම් කළ අනෙක් සමාගම් එම ටෙන්ඩරය පිළිබඳ විරෝධය පළ කරමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපි යවා ඇතැයි ද වාර්තා වේ.

 

(ප‍්‍රදීපා වීරසේකර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles