Friday, May 17, 2024

මුදල් ඇමති කියන ආන්දෝලනාත්මක කථාව..

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදෙස් දීම සඳහා උපදේශකයින් පත්කර ගැනීම සඳහා දින 15ත් 20ත් අතර කාලයක් ගතවිය හැකි බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යම කරුණක් ලෙස දැක්වෙයි.

2022 වසරේදී ශ්‍රී ලංකාව පියවීමට ඇති බාහිර ණය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 6.9කි.

නමුත් රට තුළ මතුව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් “බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන” බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා පැවසීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ණය ගෙවීම අත්හිටවූ පළමු අවස්ථාව මෙය වෙයි.

එබැවින් සිය බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට රජය තීරණය කළේය.

බ්ලූම්බර්ග් රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අලි සබ්රි අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සැලසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය හදිසි අරමුදල් සපයාගත හැකිවෙතැයි සබ්රි මහතා පැවසීය.

මේ වනවිට ඔහු, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමෙරිකාවේ වොෂිංටන් නුවරට ගොස් සිටිති.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ය.

“අපගේ සාකච්ඡා ගොනුවෙලා තිබෙන්නේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ අයි එම් එෆ් එක සමග වැඩදායි වැඩසටහනකට යෑම සම්බන්ධයෙන්. අපිට ණය සැපයු සමහර අය ට අපි ඒ ගැන දන්වලා තිබෙනවා. අපි ඔවුන්ව හමුවීමට කැමැත්තෙන් ඉන්නේ. අපේ සැලසුම් නිවේදනය කළේ සතියකට පමණ පෙර. මේ වනවිට අපි කටයුතු කරමින් ඉන්නේ මූල්‍ය සහ නීති උපදේශකයින් පත්කිරීම සම්බන්ධයෙන්.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක යන්නේ නම් මෙරට ආර්ථික සැලැස්මේ යම් යම් වෙනස්කම් කිරීමට බලධාරීන්ට සිදුවෙයි.

විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා “බදු” වැඩිකිරීමට සිදුවිය හැකිය.

“අපි එය කළ යුතුයි. නමුත් එය ක්‍රමාණුකූලව සිදුකළ යුතුයි. ඒ මන්දයත් මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් රුපියල බාල්දුවීම හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්නේ. අපි ඩොලරය පා කළානේ. මේ වනවිට ශ්‍රී ලංකා රුපියල 60%ක් 70%ක් පමණ බාල්දුවෙලා තියෙන්නේ. ඒ හේතුවෙන් ආහාර මිල ඉහළගිහින් උද්ධමනය වැඩිවෙලා. මේ වනවිට දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ බදු ආදායම 8.6%යි. එය 13%-14% මධ්‍යකාලීනව හෝ ගෙන ආ යුතුයි. අපි එය තේරුම් අරන් ඉන්නේ. එය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි මේ වනවිට විවිධ පාර්ශව සමග අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ,” යනුවෙන් මුදල් අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles