Friday, April 26, 2024

දුම්රියට බෙල්ල තියන්න ගිය ආබාධිත සෙබළාගේ ජීවිතය නීතිඥයා බේරාගනී

උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රිය ගෙලතබා සියදිවි නසා ගැනීමට සුදානම්ව සිටි ආබාධිත යුද හමුදා සෙබළෙකුගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර මහාධිකරණයේ සේවයේ නියුතු නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාට පෙරේදා (18) සවස හැකි වී තිබේ.

ආබාධිත සෙබළා කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ ශීඝ්‍රගාමි දුම්රියට බෙල්ල තබා සියදිවි හානි කර ගැනීමට සුදානම් ව සිටියදී උතුරු දුම්රිය මාර්ගයට ආසන්නව හරස් මාර්ගය අසල ශරිර සුවතාවේ යෙදී සිටි නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා ඔහුව දැක ජිවිතය බේරාගෙන තිබුණි.

අහිමිවීමට තිබූ වටිනා ජීවිතයක් බේරාගත් ඒ මහතා සිදුකළ සත්ක්‍රියාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය.මා සෑම දිනකම සවස මාර්ගයේ ඇවිදිමින් ශරිර සුවතාවේ යෙදෙනවා. පසුගිය 18දා උත්සවයකට සහභාගි වු නිසා ප්‍රමාද වී තමයි ශරිර සුවතාවේ යෙදුණේ. අනුරාධපුර තැපැල් කන්තෝරුව ඉදිරිපිටින් ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය දෙසට දිවෙන අතුරු මාර්ගයේ දුම්රිය මාර්ගය අසලින් රාත්‍රී අටට පමණ ඇවිදිමින් යන විට දැක්කා පුද්ගලයෙකු බිම දිගාවී රේල් පීල්ලට බෙල්ල තියාගෙන සිටිනවා.

මා දැන සිටියා ටික වේලාවකින් උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියක් ගමන් කරන බව.එම පුද්ගලයාට ළං වී බලන විට කටින් සෙමදාගෙන සිටියේ. කවුරුන් හෝ ඔහුව මරාදමා රේල් පාරට ගෙනත් දමන්න ඇතැයි සැකසිතු නිසා ඔහුට අත තියන්න ටිකක් මා බය වුණා. පසුව ළංවී බලන විට ඔහු හුස්ම ගන්න අයුරු දැක්කා.

දුම්රිය මාර්ගයෙන් ඔහුට ඉවත් වන්න කීවා. එයට අවනත නොවු නිසා මා සැරෙන් කතා කොට පාදයෙන් තල්ලු කර ඔහුව මාර්ගයෙන් ඉවත් කළා.

තරුණයා මාහට පරුෂ වචනයෙන් බැණ වැදුණා.මා දුටුවා ඔහු කෘතිම පාදයක් පැළද සිටින අයුරු.ඔහු ආබාධිත රණවිරුවකු බවට මා සැකසිතු නිසා හොඳින් කතා කරමින් ඔහුගෙන් ඇසුවා පුතා ඔයා ආබාධිත රණවිරුවෙක් නේද? සියදිවි නසා ගන්න හදන්නේ ඇයි දැයි කියා.

එම පුද්ගලයා තමන් හමුදාවේ සේවය කළ අයෙකු බවත් බිරිය සමඟ ඇති කරගත් ආරවුලක් නිසා දුම්රියට පැන සියදිවි නසා ගැනීමට පැමිණි බවත් පැවසුවා. ඉන් අනතුරුව මා ඔහුට කරුණු පහදා දුන්නා ඔයා රට ජාතිය බේරගන්න ගිහින් කකුලකුත් නැති කරගෙන ඉන්නේ.ඔයාලා වගේ අයගේ ජීවිත අපිට හුඟක් වටිනවා කියලා.

ආබාධිත සෙබළා දුම්රිය මාර්ගය අසලින් ඉවත් නොවන නිසා මා ඉක්මනින්ම අනුරාධපුර පොලිසියට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය දැන්වූවා.ඇමතුමට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා මේ වේලාවේ එවන්න නිලධාරීන් නැහැ කියලා මට කිවුවා.මා ඒ පිළිබඳව අනුරාධපුර දුම්රිය ස්ථානයට කතා කරලා දැන්වූවා.

ඊට පිළිතුරු දුන් නිලධාරියා පැවසුවේ පොලිසියට දන්වන්න කියලා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අයෙකුට ඔහුව ඉවත් කරමු යැයි පැවසුවා.‘අනේ අයියා ඕවට කර ගහලා පොලිසි ගානේ යන්න බැහැ‘ යැයි පවසා ඔහු යන්න ගියා.

එම සිදුවීම සිදුවී විනාඩි පහක් යන්නට මත්තෙන් කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය ආවා.

ඊට පිටුපසින් පැමිණෙන දුම්රියට මොහු පනිවී යැයි මට සැක සිතු නිසා මම එම ස්ථානයේම රැදි සිටියා. කෙසේ වෙතත් පොලිස් නිලධාරින් පැමිණෙන විට දුම්රිය එම ස්ථානයෙන් ගමන් කර විනාඩි 20ක් පමණ ගත වුවා.පැමිණි නිලධාරීන් මේ පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහු පැමිණි ත්‍රීරෝද රථය, එම රථයේ ඉදිරි අසුන මත තිබු මුදල් පසුම්බිය ජාතික හැඳුනුම්පත සොයාගෙන ඔහු අධික බීමතින් සිටි නිසා පොලිසියට රැගෙන යාමට කටයුතු කළා.

බිරිය සමඟ සිදුවූ ආරවුලක් නිසා සිත් කලකිරීමට පත්වූ වයස අවුරුදු හතළිහක් පමණ වන අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නීතිඥවරයා විසින් බේරාගෙන තිබූ අතර ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔහුව පොලිස් භාරයට ගෙන තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles