Friday, April 26, 2024

ඕවා ගිහින් කොණ්ඩෙි බැදපු
චීන්නුන්ට කියන්න..!
කාදිනල් හිමි ඇමති සරත් වීරසේකරට කියයි

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන්නේ යැයි පැහැදිලිව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් තරයේ ප්‍රකාශ කරයි.

පොලීසිය භාර ඇමතිවරයා අවංක නම් දේවස්ථානය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාක්ෂි පිළිබඳව සොයාබැලිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යට අදහස් දක්වමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසුවේ,

“ඊයෙ අර බොරැල්ලෙ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ CCTV කැමරා දර්ශන බලලා අපි පොලිසියට යම්කිසි අභියෝගයක් එල්ල කළා, ඒ අත්බෝම්බය අහුවෙච්ච දවසේ උදේ වරුවේ කවුද පල්ලියට ආවෙ ගියෙ කියන එක ගැන අපට දැනගන්න ලැබිච්ච, දකින්න ලැබිච්ච දේවල් ගැන විමර්ශනය කරන්නය කියලා. නමුත් ඒකට මේ පොලිසිය බාර ඇමතිතුමා නිකම් මේ වැල්වටාරම් කතා කියකියා අර දැනට එයාලා අත් අඩංගුවට අරන් තියෙන සංක්‍රිස්තියන් මනුස්සයාට එයාගේ කාමරේ ගිනිපෙට්ටියෙ ගිනිකූරු අඩුවෙලා තිබුණාය, ඒ ගිනිකූරු එයාම අළවලා තියෙනවා කියලා පිළිගත්තාය අරවා මේවා කියලා …. නිකම් මේ … – මොකද පොලිසිය සාමාන්‍යයෙන් ඔය මිනිස්සුන්ව අරන් ගියාම ඒ මිනිස්සුන්ට ඒගොල්ලන්ට ඕනෙ දේ කියවාගෙන අත්සන් කරවා ගන්නවා. එහෙමනෙ ඒගොල්ලො හුඟක් ප්‍රකාශ හදන්නෙ බොහෝ වෙලාවල්වලට. අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න බලාගෙන – එයාලා කලින් සූදානම් කරපු සැලැස්මක් අනුව තමයි ඔය වැඩේ කෙරිලා තියෙන්නෙ. ඒක පැහැදිලිව ඇමතිතුමාගේ ප්‍රතිචාරයෙන් අපට පේනවා.

ඇමතිතුමා අවංක නම් එයා මේ අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලන්න ඕනෙ. මනුස්සයෙක් සිලි සිලි බෑග් එකක් අරගෙන පල්ලිය ඇතුළට එනවා උදේ 9.52 ට. ඇවිල්ලා අර බෝම්බය අහුවෙච්ච මුල්ලට ගිහිල්ලා එතන මොන මොනවාහරි කරනවා. කරලා ඉවරවෙලා තවත් එක්කෙනෙක් එතෙන්ට එනකොට මෙයා පැනලා දුවනවා. ඒ දර්ශන ඔක්කොම තියෙනවා එතන. අපි කියන්නෙ ඒ මනුස්සයා කවුද කියලා විමර්ශනය කරන්න. ඇයි ඒක කරන්න බැරි ? ඒ කියන්නෙ මෙයාලා කලින් තීරණය කරගත්තු දෙයක් ඇත්ත කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒක අපට පිළිගන්න බෑ කොහොමටවත්.

ඒ නිසා මේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව, බොරුව රජකරවන්න උත්සාහ කරන්නෙ නැතුව, පොලිස් ඇමතිතුමා මේ අපට කියන කතාවල් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්නෙයි කියන්න. ඒගොල්ලන්ට තමා එයාලා ඒවා කියන්න ඕනෙ. මොකද ඒ වගේ ඇමතිවරුන්ගෙන් සත්‍යය, සාධාරණත්වය ඉෂ්ඨ වෙයි කියලා අපට විශ්වාස කරන්න බෑ. එයාලා කලින් සූදානම් කරගත්තු නිගමනයක් කොහොමහරි සනාථ කරන්නයි උත්සාහ කරන්නෙ. ඒකෙන් පේනවා විනිවිද පෙනෙන විදියට මේක ගැන විමර්ශනය කරන්න මේ ඇමතිතුමාටවත් ආණ්ඩුවටවත් පොලිසියටවත් ඕනෙකමක් නෑ කියලා. අපි ඉදිරිපත් කරපු සාධක සොයාබලන්න කියලා අපි ඉල්ලා සිටින්නෙ. එච්චරයි. එහෙම නැත්නම් අපට කරන්න වෙන්නෙ මේක උසාවියට අරන් යන එකයි. අපි උසාවියට අරන් යන්න ලෑස්තියි. දැන් බලන්න පාස්කු ප්‍රහාරය ගැනත් ඕකමනෙ වෙලා තියෙන්නෙ. මේ සක්සුදක් සේ පැහැදිලිව පාර්ලිමේන්තු කාරක සභාව හා ජනාධිපති කොමිසම දෙන නිගමන පැත්තකට දාලා එයාලාගෙ න්‍යාය පත්‍රය අනුව ඒගොල්ලො වැඩ කරගෙන යනවා. ඒක සාධාරණීකරණය කරන්න මවනවා එක එක දේවල්. මේක තමයි මේ රටට වෙලා තියෙන විනාශය. ඒ අය අපි මෝඩ පිරිසක් කියලා හිතාගෙන කටයුතු කරනවා වෙන්න ඇති. ඔය කතන්දර කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ගිහින් කියන්න ඕනෙ සරත් වීරසේකර මහත්තයා”

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles