Friday, May 17, 2024

අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩය බැසිල් රාජපක්ෂයි

මේ රටේ තිබෙන ප්‍රධාන අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩය වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්  සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකයේ සභාපතිවරයා

“ ඡන්දෙ දීපු 69 ලක්ෂයක් සහිත දෙකෝටි විසි ලක්ෂයක සමස්ත ජනතාවටම තරු පෙන්වමින් මේ 2022 අවුරුද්දේ 69 වන දිනයේ ආණ්ඩුව ගැහුවා ගැසට් එකක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ගැසට් නිවේදනය. නැවත වතාවක් තරු පෙන්වමින් ඩීසල් මිල, පෙට්‍රල් මිල, ඒ කියන්නේ ඉන්ධන මිල, ඓතිහාසික වශයෙන් වැඩි කරලා දැම්මා. දැන් මේ ඉන්ධන මිල වැඩි වීමත් එක්කම මොනවද හෙට වෙන්නේ පාන් ගෙඩියේ මිල, බනිස් ගෙඩියේ මිල, පිටි කිලෝ එකේ මිල, ත්‍රීවිල් ගාස්තුව, බෙහෙත් මිල, එළවළු මිල, ප්‍රවාහන මිල හැමදෙයක්ම තව වටයකින් ඉහළ යනවා. දැන් මේ වෙමින් තිබෙන්නේ මොකක්ද? මේකට මොකක්ද අපි කියන්නේ? ආර්ථික අර්බුදයද, උද්ධමනයද, ජීවන බර වැඩිවීමද, බදු බර වැඩිවීමද, නම් ගොඩක් තිබුණා. ඉතාම සරල නම තමයි, රට බංකොලොත් වෙලා කියන එක.

හිරුණිකා මන්ත්‍රීතුමිය තවත් කාන්තාවන් පිරිසක් එක්ක රටේ ජනතාවගේ දුක කියන්න මිරිහානේ ජනාධිපතිතුමාගේ ගෙදරට සංදේශයක් භාර දෙන්න යනකොට ජනාධිපතිතුමා එතුමාගේ දුක කියන්න තවත් කාන්තාවක් හොයාගෙන අනුරාධපුරයට ගිහිල්ලා තියෙනවා. ඔන්න ජනාධිපතිතුමාගේ උත්තරේ. දැන් අද සාත්තරකාරියන්ගේ පිහිටයි මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න.

දැන් ආණ්ඩුවේ අය ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ දැන් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩනගන්න මොකක්ද කරන්නේ? බඩු මිල වැඩි කරලා අනේ මේක දරාගන්න කියලා විතරක් හරියන්නේ නැහැ. දැන් මේ ගැන වහාම කියන්න ඕනේ. දැන් මේ අත්‍යාවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා කරලා තිබෙනවා.

ගරු මුදල් ඇමතිතුමනි, මේ රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රධාන ආනයනික භාණ්ඩය තමයි ඔබතුමා.  ඒ භාණ්ඩය ආනයනය කරලා පාර්ලිමේන්තුවටත් ගෙනල්ලා මුදල් ඇමතිකමක් දුන්නට පස්සේ තමයි මේ හෙනේ තවත් වැඩි වුණේ. එම නිසා අපි මේ කියන්නේ සාස්තරකාරියෝ හොයාගෙන ඒ වගේම තමයි මේ ආනයනික මුදල් ඇමතිතුමාත් ඇතුළු මේ පොහොට්ටු ආණ්ඩුවේ මේ වියත් පරිණත දැනුවත් ආර්ථික විශේෂඥ සියලු දෙනාම මේ ආර්ථික බංකොලොත් භාවයෙන් රට බේරා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. අර්බුදයෙන් අර්බුදයට රට ගමන් ගනිමින් සිටිනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles