Sunday, May 5, 2024

අදූෂිත දේශපාලනයක් යටතේ රට ඉදිරියට ගෙන යාමට සුදානම් – අනුර

රට හමුවේ පවතින අර්බුදය සදහා විසදුම් සෙවිය හැක්කේ සාමුහික දේශපාලන ප්‍රයන්තයකින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (20) කොළඹ පැවති සමුළුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අදූෂිත දේශපාලනයක් යටතේ රට ඉදිරියට ගෙන යාමට ජාතික ජන බලවේගය සුදානම් බවද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

ජීවත්වීමට සරිලන ආදායමක් ඇති බොහෝ පිරිස් මේ වනවිටත් රට හැර යමින් සිටින බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව, “බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම” මැයෙන් ජාතික ජන බලවේගයට අනුබද්ධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ඔබ විශ්වාස කරනවද? තව තවත් මේ තනි තනි පුද්ගලයන්ට; අපි හැමදාමත් කියනව වගේ තනි තනි ඉන්ද්‍රජාලිකයන්ට මේ රට බාර දෙන්න. එපා! තවත්. මොකද?මේ රට ගොඩනැගීම සාමූහික ක්‍රියාවලියක්.

දැන් මෙයාලගෙ සාමූහිකත්වයක් තියනවද? ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක ඇමති ගෝඨාභය රාජපක්‍ෂ, ඩිජිටල් ඇමති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ, නිවාස ඇමති මහින්ද රාජපක්‍ෂ, නාගරික සංවර්ධන ඇමති මහින්ද රාජපක්‍ෂ, බෞද්ධ හා සංස්කෘතික කටයුතු ඇමති මහින්ද රාජපක්‍ෂ, වාරිමාර්ග ඇමති චමල් රාජපක්‍ෂ, ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඇමතිත් චමල් රාජපක්‍ෂ, ආපදා කළමනාකරණ පිළිබඳ රාජ්‍ය ඇමති චමල් රාජපක්‍ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ, ඩිජිටල් රාජ්‍ය ඇමති නාමල් රාජපක්‍ෂ, කෘෂිකර්මාන්තයේ ප්‍රබල කොටසක් නියෝජනය කරන්නේ අමාත්‍යාංශයේ ශෂේන්ද්‍ර රාජපක්‍ෂ, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නිපුණ රණවක.

තමන්ගේ ඥාති පුතා. ඒ වගේම ගත්තොත් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන්කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බැසිල් රාජපක්‍ෂ, දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසදුම් සහිත රහිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා බැසිල් රාජපක්‍ෂ, “ගම සමඟ පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක ප්‍රධානියා නාමල් රාජපක්‍ෂ.

ඔබ හිතනවද පවුලක් රටක් හදයි කියලා. තව අලුත් ඥාතීන් ගොඩක් සමහරක් අය එයාර් පෝට් එකේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ, සමහර අය එයාර් ලංකා එකේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ, සමහර අය සංචාරක අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ, සමහර ඥාතීන් සීෂෙල්ස් වල තනාපති වරු. ඉතින් පවුලක් ඔබ හිතනවද? මේ තනි පුද්ගලයෙක්, පවුලක් රට ගොඩනඟාවි කියලා.

නෑ, එතකොට පවුලක් ගොඩනැගෙනවා ඇරෙන කොට රටක් ගොඩනැගෙන්නේ නෑ. රටක් ගොඩනැගීම සඳහා සාමූහික ක්‍රියාවලියක් අවශ්‍යයි. සාමූහික දේශපාලනයක් අවශ්‍යයි.

ඒනිසා අපි ඔබට යෝජනා කරන්නේ මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ ස්වාමික දේශපාලන නායකත්වයකින්.

මේ රටේ ස්වාමික දේශපාලන නායකත්වයක් තිබෙනවා නම් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සහ අපි ඒකරාශී වී තිබෙන බලවේගයන්ට පමණි.

අපි යෝජනා කරන්නේ තනි ඉන්ද්‍රජාලී ක්‍රියාවක් නොවේ ස්වාමික දේශපාලන නායකත්වයක් මෙරට ගොඩනගන්න දෙන්න ඕන. ඊට පස්සෙ මෙරට කර්මාන්ත කරුවා, ව්‍යවසායකයා, තමන්ගෙ පංගුව භාර ගන්න ඕන. අවසන් වශයෙන් ගත්තොත් ජනගහණයෙන් පහළවෙන් එකක් රාජ්‍ය සේවයේ.

එය විශාල රාජ්‍ය සේවක පංගුවක්. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට බිලියන හත් සීයයක් වැටුප් වශයෙන් රාජ්‍ය සේවකයාට වියදම් කරනවා. කෝටි හැත්තෑ දාහක් වසරකට මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වෙන් කරනවා. හැබැයි අපි කාට හෝ රාජ්‍ය සේවකයාටත් හෝ සාමාන්‍ය පුරවැසියෙකුට හෝ මේ රාජ්‍ය සේවය පිළිබඳ සතුටු විය හැකිද? රාජ්‍ය සේවකයා අතිශයින් අතෘප්තිමත් පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. සේවා ව්‍යවස්ථාවක් නෑ. උසස් වීමේ පටිපාටියක් නෑ.

මොකක්ද සිදු වී තිබෙන්නේ ඉතාමත් අතෘප්තිකර රාජ්‍ය සේවයක් නිර්මාණය වී තිබෙනවා. උසස්වීම්, බඳවා ගැනීම්, මාරු වීම් මුළුමනින්ම දේශපාලන හස්තය විසින් ගිලගෙන තිබෙනවා.

ඒ නිසා මේ රාජ්‍ය සේවය ලොකු වුණාට තෘප්තියක් නැති රාජ්‍ය සේවයක් නිර්මාණය වී තිබෙනවා. තෘප්තියක් නොමැති වීමේ ප්‍රතිඵල ජනතාවට කාර්යක්‍ෂම සුහදශිලී රාජ්‍ය සේවයක් නෑ.

එනිසා මේ රාජ්‍ය සේවය යළිත් ප්‍රතිසංවිධානය කළ යුතුයි. ඒ රාජ්‍ය සේවයත් පෞද්ගලික අංශයත්, කර්මාන්ත කරුවාත් මේ සියල්ල ඒ දේශපාලන නායකත්වයත් එක්රැස් කරගත් සාමූහික වැඩපිළිවෙලක් ඕන.

මේ රට ගොඩගැනීම තනි පුද්ගලයෙක් ගෙ තනි වුවමනාවට කළ හැක්කක් නොවේ. අපි හැම දෙනාම යම් කැප කිරීමක් පරිත්‍යාගයක්, මෙහෙයවීමක් කරන්න සූදානම් නම් මෙරට ගොඩනැගිය හැකියි. ඒ සඳහා සාමූහික වැඩපිළිවෙලක් අවශ්‍යයයි.

අපි හැම දෙනාම තමන්ගෙ කොටස තේරුම් ගන්ඩ ඕන. දේශපාලනඥයන් විදියට අපට පැවරෙන කොටස, වෘත්තීයවේදීන්ට පැවරෙන කොටස ඒ ඒ ක්‍ෂේත්‍රයන්ට නිපුණතාවයක් තියෙන අයට පැවරෙන කොටස, පෞද්ගලික අංශයට පැවරෙන කොටස වගේම පොදු මහජනයාට පැවරෙන කොටසක් තිබෙනවා.

මේ සියල්ල ඒකරාශි කර ගත්තු සාමූහික මෙහෙයුමක් අපට අවශ්‍ය වී තිබෙනවා. අන්න ඒ සාමූහික භාවයේ නායකත්වයට දෙන්න තමයි අපි සූදානම් වී තිබෙන්නේ.

ඒ නිසා අපි ඔබට ආරාධනා කරන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවත අපි මුළුමනින්ම වෙනස් කරමු. හැම කෙනාම කල්පනා කරමින් තිබෙන්නේ තමන්ගෙ දරුවන් මේ රටින් එළියට යවන්න. අවශ්‍ය නම් එහෙම මාවතක් තෝරා ගන්නත් පුළුවන්.

අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති අපේක්‍ෂා භංගත්වයට පත් වුණු රටක තමන්ගෙ දරුවන් ජීවත් කරවනවද? නැත්නම් වෙන රටකට ගෙන යවනවද? ඒක ඔබට තීරණය කරන්න පුළුවන්.

හැබැයි එය ඒ තරම් යුක්තිසහගත ද ? හැබැයි ඔබ ඒ සඳහා දක්වන උනන්දුවෙන් සියයට පනහක උනන්දුවක්වත් දක්වමු නේද?මෙය වෙනස් කරන්න. ඒක නේද කළ යුතු වන්නේ? ඒක නිසා වෙනස් කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දරන්න.

අවුරුදු හැත්තෑ තුනක් මේ ගමන් කරපු මාර්ගය අප අසාර්ථක මාවත බව විසඳුම නොවන බව පෙන්නුම් කර තිබෙනවා නම්, ඇස් ඉදිරිපිටම පෙන්නුම් කර තිබෙනවා නම් විසඳුම් සහිත මාවතකට අපි අවතීර්ණ වෙන්න ඕන නේද?”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles