Monday, May 13, 2024

අනුර කුමාර දිසානායක,කරූ පරණවිතාන එන්න මල් පිපීදැයි බලන්න..!

අනුර කුමාර දිසානායක මහත්මා යනු ජනතා විමුක්ති පෙරමුණේ නායකයාය. අනුර දිසානායක මහත්මා පසුගිය දවසක ප්‍රකාශකලේ ඇවන්ට් ගාර්ඩ් සමාගමෙන් මුදල් ලබාගත් දේශපාලඥයන්,මාධ්‍යවේදීන්,වෙබ්අඩවි හිමියන් පිළිබඳ තොරතුරු රටට හෙලිකරන බවයි. දින ගණනක් තිස්සේ ඒ හෙළිදරව් කිරීම අපේක්ෂාවෙන් සිටියත් එය හෙළිනොවුණ තැන රෙද්ද උස්ස බැලීමට අපට සිදුවිය.

එළාර-දුටුගැමුණු නාට්‍යයේ කතාව මතකයේ ඇතිනම් ජාත්‍යාලයෙන් කඩුසටන් කල එළාර සහ දුටුගැමුණු දෙදෙනා පෙට්‍රල් ලාම්පුවට වැදුණු කඩු පහරෙන් පසු අඳුරුවී ගිය වේදිකාවේ බිම ඇණතියාගෙන මාරුවෙන් මාරුවට හුළං ගැසූ අයුරු සිහිපත්කල යුතුය. තිරයෙන් ඉදිරියේ සටන් පෙන්නූවද තිරය පිටුපස ඇත්තේ සමගි සන්ධාන මිස වෙන කිසිවක් නොවන බව සිහිතබාගත යුතුය. හෙළිදරව් සිදුවණ තුරු බලාසිට එය එසේ නොවුණ තැන ටෝච් ගසා හෝ රෙද්ද උස්සා බලන්නට අපට සිදුව ඇත්තේ එ බැවින්ය.

මාධ්‍යවේදීන් අල්ලස්ගෙන පුවත් මැවීම හෝ විකෘති කිරීමට අපි තරයේම විරුද්ධ බව කිවයුතුය. මාධ්‍ය සදාචාරය නැමති සළුපට පොරවාගෙන එයට යටින් ඩීල් දමන මාධ්‍යකරුවන්ට එරෙහිව අත් ඔසවන්නට දෙවරක් සිතන්නේ නැත. නමුත් බොරු ඩීල් බිල්ලන් පෙන්වා මාධ්‍යවල කටවැසීමටද එලෙසින්ම විරුද්ධවීමට අයිතියක් අප සතුව ඇත.

ඇවන්ට් ගාර්ඩ් සමාගම ලංකාවේ තහනම් සංවිධානයක් හෝ නීතිවිරෝධී ආයතනයක් නොවන බැවින් ඔවුන්ගේ අරමුදල්වලින් යැපුන සමාජ සේවා ආයතන ගණනාවක් පැවතීය, එම ආයතනයේ ව්‍යාපාරික අනුග්‍රහයලත් ආයතන පැවතිනි, මාධ්‍ය ආයතන පැවතිනි, දේශපාලඥයන් පවා සිටියහ. එවන් වාතාවරණයක ලංකාවේ සමාගම් පනතේ ලියාපදිංචි ආයතනයකින් මුදල් අනුග්‍රහයක් ලබාගැනීම අපරාධයක් වන්නේ කෙසේද යන්න අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසිය යුතුය. එමෙන්ම එයට සාධාරණ පිළිතුරක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

අනෙක් පැත්තෙන් අලුතෙන්ම ජනමාධ්‍ය පාලනයට අතගැසූ කරූ පරණවිතාන මහතා ඇවන්ට් ගාර්ඩ් සමාගමෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් සිටිනවානම් ඔවුන්ගේ මාධ්‍ය හැදුනුම්පත අහෝසිකරන බව කියා තිබිණි. මෙවැනි මොන්ටිසෝරි කතා කියන්නට මහජන නියෝජිතයින් පත්කර එවීමට ජනතාවට දියයුතු පිළිතුර කුමක්ද යන්න කිව යුතු නැත. ඇවන්ට් ගාර්ඩ් යනු එල්.ටී.ටී.ඊ සංවිධානය නොවන බැවින් එල්.ටී.ටී.යේ සල්ලි ලබාගත් සහ සල්ලි දුන් ඇත්තන් පවා නිදැල්ලේ සිටියදී මාධ්‍යවේදීන්ගේ හැඳුනුම්පත් තහනම් කරන්නට යන්නේ කුමන පදනමකින්ද යන්න ඇසිය යුතුය. එතුමා තවමත් ඇමති තනතුරු දරන්නට ළපටි වැඩි බැවින් මෙවැනි ප්‍රශ්නවලින් එතුමා හිරකර ලත් තැනම ලොප් කිරීමට අවශ්‍ය  නැත. නමුත් එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් එය සාධාරණ තර්කයක් ඉදිරිපත් කිරීම කල යුතුය.

ගැටළුව ඇත්තේ පසුගිය රජය සමයේ පිහිටවූ ඇවන්ට් ගාර්ඩ් මේ ආණ්ඩුවට හොඳ නැති වීම නිසා එම ආයතනය නැති බංගස්ථානකිරීමට කටයුතු කිරීමත්, එසේ සිදුකරන විට එම ආයතනය පැත්තෙන් දක්වන අදහස ප්‍රසිද්ධ කලහොත් ඒවා වැරදි වීමත්ය. හරියටම රාජපක්ෂ ආණ්ඩු කාලයේ ආණ්ඩුවට විරුද්ධව කතාකලහොත් දේශද්‍රෝහී ලේබලය ඇලවීම හා සමානය. එබැවින් අනුර දිසානායක මහතාගෙන් සහ කරූ පරණවිතාන මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඇවිත් මල්පිපී ඇත්දැයි බලන ලෙසය. නොපිපුණු මල්වලට මිළ ගණන් කියන්නට කලින් එය වඩාත් යෝග්‍යය. නැතිනම් සිදුවන්නේ වෙනත් ඩීල්ද එලියට පැමිණීම මිස වෙන කිසිවක් නොවේ.

[email protected]

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles