Sunday, May 19, 2024

අර්ජුන් මහ බැංකු අධිපතිකම එපා කියයි

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව අතිශයින් තීරණාත්මක බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම විගණන කටයුත්ත වෙනුවෙන් පසුගිය සමයේ ඇසිඩ් ප‍්‍රහාරයකට ලක් වූ සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල ද සහභාගී වීමට නියමිතව ඇත.  තව ද  එම විගණන වාර්තාව මත අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ මහ බැංකු ධුරය පිළිබඳ නිසි තීන්දුවක් ගැනීමට නියමිතව ඇති අතර ඒ වෙනුවෙන් විගණකාධිපති වාර්තාව කැඳවා ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්ය.
එසේම මහ බැංකු අධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස කෝප් කමිටුව වෙත යෝජනා වී ඇත්තේ පසුගිය දා ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළුව ආණ්ඩුවේ ක‍්‍රියාකාරීන් සමඟ වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙසින් බව ද වාර්තා වෙයි.
එහි දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැරැද්දක් කර නොමැති බවට අග‍්‍රාමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිට ඇති අතර අනෙක් පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ රට තුළ ගොඩනැගී ඇති නරක ප‍්‍රතිරූපය හේතුවෙන් වඩාත් පිළිගත හැකි ක‍්‍රමවේදයක් හරහා මෙම ප‍්‍රශ්නය විසඳාගත යුතු බවය. ඒ අනුව එම සාකච්ඡාව අවසානයේ ජුනි 30 වනදා මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය නිමාවන බැවින් ඊට පෙර කෝප් කමිටුවට මෙය යොමුකර එහි නිර්දේශය මත අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා දිගුව පිළිබඳව තීන්දුව ගැනීමට සියලූ‍ පාර්ශ්ව එකඟත්වය පළකර ඇත. මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද කෝප් කමිටුව හමුවේ තම නිර්දෝෂීභාවය ඔප්පු වන තුරු මහ බැංකුවේ අධිපති ධුරය බාර නොගැනීමට තීන්දුවක් ගෙන ඇත. ඒ පිළිබඳ ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළ ද මහ බැංකු අධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ සිය සමීපතමයන් පිරිසක් සමඟ මහ බැංකු අධිපතිවරයා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවය. එහි දී කෝප් කමිටුව හමුවට පමණක් නොව අවශ්‍ය  ඕනෑම අධිකරණයකට වුව ද පෙනී සිට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තමන් සූදානම් බව ද මහ බැංකු අධිපතිවරයා පවසා ඇත. එසේම තමන්ට මුදල් ඉපයීමට අවශ්‍ය නම් තමන්ගේ කීර්තිනාමය නැති කරගෙන එය කළ යුතු නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවකට එක්වීම හරහා මීට වඩා ඉතා ඉහළ ආදායමක් තමන්ට උපයා ගැනීමට අවස්ථාව තිබෙන බවත් ඔහු එහි දී පවසා ඇත.
එසේම මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා  සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් පසුගිය සතිය තුළ පැමිණ ඇත. එම එක් පිරිසක් සමඟ අර්ජුන් සම්බන්ධව කෝප් කමිටුව ගන්නා තීරණය සමඟ තමන් එකඟ වන බවට එහි දී ද අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය පොරොන්දු වී ඇත. නමුත් අප වෙත වාර්තා වන ආකාරයට  එම අවස්ථාවට පැමිණ සිටි අනෙක් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීම අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ ”රට වටේ ගිහින් ගිනි තියපු අය  දැන් මා එක්ක මොනවා සාකච්ඡා කරන්නද? අනික ඔය අයට මොනවද කරන්න පුළුවන්? රටට සත පහක් ගේන්න පුළුවන් අයද ඔය?” කියාය. එසේම එක එක කයිවාරුකාරයන් කියන දේවල්වලට වඩා රටේ ආර්ථිකය ගැන කවුරුත් සිතිය යුතු බවත් අර්ජුන් මැදිහත් නොවෙන්න අයි.එම්.එෆ්. වෙතින් ලැබුණු ඩොලර් බිලියන 1.5, ඉන්දීය මහ බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5, ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 500, ADB වෙතින් ලැබුණු ඩොලර් මිලියන 200, සිටී ඩොයිෂ් වෙතින් ලැබුණු ඩොලර් මිලියන 500, ඩුබායි – ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ලැබුණු ඩොලර් මිලියන 400 ගෙන මෙහෙමවත් ආර්ථිකය ගෙන යාමට නොලැබෙන බවත් අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.
එසේම එල්ල කර තිබෙන චෝදනා කිසිවක් ඔප්පු කරගත නොහැකි පදනම් විරහිත බවත් එසේ තිබිය දී ආණ්ඩුව සමඟ ගනුදෙනු කිරීම සිදුවන්නේ මේ අයුරින් නම් තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න ගැන ද සිතා බැලිය යුතු බව අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.  මේ අනුව ඉදිරි දින කිහිපය තුළ වත්මන් මහ බැංකු අධිපතිවරයාට තවත් සේවා දිගුවක් දෙනවාද නැතිද යන්න තීරණය වීමට නියමිතව ඇත.
සංජය ලියනගේ

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles