Monday, May 6, 2024

ඇමැති දයාගේ කොම්පැනියට මේ ආණ්ඩුවෙන් කෝටි 360ක කොන්ත‍්‍රාත්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා රුපියල් බිලියන 3.6 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් අයථා ලෙස ලබාගෙන ඇති බව වාර්තා වේ. කළුතර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපෘති දෙක, රුපියල් බිලියන 1.81 ක් වන කිලෝමීටර් 89 ක ව්‍යාපෘතියක් සහ රුපියල් බිලියන 1.817 ක කිලෝමීටර් 94 ක ව්‍යාපෘතියක් වශයෙන් වේ.
මෙයට පෙර ඔහුට අයත්ව තිබූ Olympus construction (pvt) Ltd සමාගමක හිමිකාරිත්වය ඔහුගේ පවුලේ සමීපතම ඥාතියකුගේ නමට හරවා මෙම කොන්ත‍්‍රාත් දෙක ලබාගෙන ඇත. මෙම සමාගමේ ලිපිනය ලෙස අදත් දැක්වෙන්නේ දයා සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලය පවතින බොරලැස්ගමුව පැපිලියානේ ලිපිනයමය.
පසුගිය ජුනි 03 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලයට මහාමාර්ග ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින්  කොන්ත‍්‍රාත් 2 ලබා දී ඇත්තේ මෙම පෞද්ගලික සමාගමට ය. මෙම යෝජනා සම්මතය සඳහා දයා ගමගේ ඇමැතිවරයා ද සිය අත ඔසවා කැමැත්ත පළ කර ඇත. මෙම සමාගම ඉන්දීය සමාගමක් වන රානී කන්ස්ට‍්‍රක්ෂන් පෞද්ගලික සමාගම සමඟ හවුලේ අදාළ ව්‍යාපෘති දෙක සිදු කරන බව ද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ වියදම් රැසක් දරන ගමගේ මහතා එජාපයේ මැතිවරණ වියදම සඳහා ද අධික මුදලක් වැය කරන්නෙකි. ඊට ප‍්‍රතිඋපකාර ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා මෙලෙස කොන්ත‍්‍රාත් ලබා දුන්නාද යන්න ද සැක සහිතය. මන්ද, කිරිඇල්ල මන්ත‍්‍රීවරයා එජාප පාක්ෂිකයන්ට අලූත් තනතුරු නිර්මාණය කර හෝ රැකියා ලබා දීම ගැන ප‍්‍රකටය. ඔහුගේ අමාත්‍යාංශයේ උපදේශකයන්ම අනූ ගණනක් සිටින බව පසුගිය දා හෙළි විය.
කෙසේ නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිකම ගමගේ මහතාගේ මස්සිනා වන නිහාල් සූරියාරච්චි මහතා විසින් දැරීම ද මේ මාර්ග සංවර්ධන කොන්ත‍්‍රාත් මෙම සමාගම වෙත ලැබීම කෙරෙහි බලපා තිබේ. ඔහුගේ බිරිඳ වන අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරිය වන අතර දයා ගමගේ මහතාගේ ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ පුත‍්‍රයාය.
කෙසේ නමුත් රාජපක්ෂ යුගයේ එක් පවුලක් විසින් රට හූරගෙන කෑමට එරෙහි වූ වත්මන් ආණ්ඩු බලය හොබවන්නන් පවුල් කිහිපයකට රට හූරගෙන කෑමේ ක‍්‍රමය ස්ථාපිත කර දී ඇත. රණතුංග පවුල, සේනාරත්න පවුල ඒ අතරින් ප‍්‍රමුඛය. එහෙත් යහපාලනය නමින් ගෙන ආ වැඩපිළිවෙළ මීට ඉඳුරා වෙනස්ය. තමන්ගේ ඥාතීන්ට, ගජ මිතුරන්ට අනියම් ලෙස සැලකීම ගැන එම වැඩපිළිවෙළෙහි තිබුණේ නැත.
– සුභාෂ් ජයවර්ධන

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles