Monday, May 20, 2024

අවිහිංසාවාදීව රට ගොඩනැගීමට එජාපයෙන් සත්‍යග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී 25 වෙනිදා සවස 3 ට සත්‍යග්‍රහ ව්‍යාපාරය පවත්වන්නේ කාටවත් අපහාස කිරීමට හෝ මඩ ගැසීමට නොවන බවත්, එදින අවිහිංසාවාදීව පවත්වන සත්‍යග්‍රහයේදී වැටී තිබෙන මේ රට ගොඩගැනීම සදහා හැමෝම අධිෂ්ථානයක් සිදුකරන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.   

මෙම සත්‍යග්‍රහයට සහභාගීවන සැවොම සුදු ඇදුමින් සැරසී ඊට සහභාගී වන්නේ නම් ඉතා වැදගත් වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ සත්‍යග්‍රහ ව්‍යාපාරය පිළිබඳව ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා ගාල්ලේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීය.

අද අපි මෙතනට රැස්වුණු ප්‍රධානම අරමුණ තමයි 25 වෙනිදා සවස 3 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන්න. අපි බලාපොරොත්තු වෙනවා අති විශාල පිරිසක්  කොළඹ හයිඩ් පිටියට කැඳවන්න.

අවිහිංසාවාදීව පවත්වන මේ සත්‍යග්‍රහයට සුදු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස රටේ ජනතාවගෙන් අප කාරුණික ඉල්ලීමක් කරනවා. මේ සත්‍යග්‍රහ ව්‍යාපාරය අප පවත්වන්නේ කාටවත් අපහාස කරන්න, මඩ ගහන්න හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් සිදුකරන්න නොවෙයි.

මේ වැටිලා තිබෙන රට ගොඩගන්න අපි අධිෂ්ඨානයක් කරනවා, සියලු දෙනා එකමුතු වේවායි කියලා. සියළුදෙනා එකට එකමුතු වෙලා රටේ තිබෙන ප්‍රශ්නය අවසන් කිරීම සඳහා පියවර ගැනීම තමයි එක්සත් ජාතික පක්ෂයේ අරමුණ හැටියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

1975 න් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළා. එතුමා එහිදී සිදුකළ කථාව මම දුටුවා ඊයේ පෙරේදා ගුවන්විදුලිය මගින් ප්‍රකාශයට පත්වෙනවා. එතුමා කියනවා මම අද ආරම්භ කරන සත්‍යග්‍රහ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ කාටවත් අපහාස කරන්න හෝ දේශපාලන කණ්ඩායම් සඳහා පහර දෙන්න නොවේ. මම මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලාංකික ජනතාව ගොඩගැනීම සඳහා පියවර ගැනීමටයි.

එහෙමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එතුමාගේ කථාවේදී ප්‍රකාශ කරන්නෙ. එතුමා එහෙම කියලා කියනවා, කවුරුහරි ඉන්නවා නම් වෙනත් ක්‍රියාමාර්ග ගන්න අය, එහෙම නැත්නම් වෙනත් අයට අපහාස කරලා ක්‍රියාකරන කණ්ඩායම් මට වාර්ථා කරන්න මං ඒ අය පක්ෂයෙන් නෙරපා හරිනවා කියලා.

එහෙනම් එවැනි ක්‍රියාදාමයන් ඔස්සේ ක්‍රියාකරන දේශපාලන පක්ෂයක් හැටියට වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉතා පැහැදිළි චේතනාවකින් යුක්තව මේ අවිහිංසාවාදී වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එහිදී අපි සියළුදෙනා බිම වාඩි වී මේ සත්‍යක්‍රියාවේ නිරත වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles