Friday, May 17, 2024

ඇමරිකානු ඩොලර් මිලියන 75ක ආයෝජනයකින්-නව ටයර් කර්මාන්තශාලාවක්‌ ඉදිකරයි

සිලෝන් ස්‌ටීල් කෝපරේෂන් ලිමිටඩ්හි සභාපති නන්දන ලොකුවිතාන මහතා සහ ඉතාලියානු ටයර් නිෂ්පාදකයකු වන මරන්ගෝනි සමාගම එක්‌ව ඇමරිකානු ඩොලර් මිලියන 75ක සම විදෙස්‌ ආයෝජනයෙන් නවීන ටයර් කර්මාන්තශාලාවක්‌ ඉදිකිරීමට සැලසුම් කර ඇත.

හොරණ, ගෝනපල ප්‍රදේශයේ අක්‌කර 100ක පමණ ඉඩමක මෙම ටයර් කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිතය.

මෙම ආයෝජනය හේතුවෙන් වත්මන් රජයේ රැකියා උත්පාදන ඉලක්‌කයන් සපුරාලනුවස්‌ සෘජු රැකියා අවස්‌ථා 1000ක්‌ පමණ බිහි කෙරෙනු ඇත.

සංවර්ධන ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවකට අනුව අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය හරහා අනූනව අවුරුදු බද්දකට යටත්ව සිලෝන් ස්‌ටීල් කෝපරේෂන් ලිමිටඩ් හට පැවරීමට නියමිතය.

යටිතල හා අනෙකුත් සේවා පහසුකම්ද සමගින් භූමියේ මුළු වටිනාකම ආයෝජකයන්ගෙන් ලබා ගැනීම රජයේ සැලසුම වී තිබේ.

අභිනවයෙන් ඉදිවන මෙම ටයර් කර්මාන්තශාලාවේ අපේක්‍ෂිත ඉලක්‌කය වන්නේ වසරකට ටයර් මිලියන 3ක්‌ නිෂ්පාදනය කොට ඉන් සියයට 75ක්‌ අපනයනය සඳහා වෙන් කිරීමයි. ඉතිරිය දේශීය පරිභෝජනය සඳහා මුදා හැරේ. මෙම ටයර් අපනයනය මගින් අපේක්‍ෂිත දළ ආදායම යුරෝ මිලියන සියයකි.

මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව අපනයනය වන ටයර් හා ටියුබ් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 471ක්‌ වේ. මෙම අගය සමස්‌ත රබර් ආශ්‍රිත නිෂ්පාදනයෙන් සියයට 61.9කි. මෙම වසරේ ටයර් නිෂ්පාදන හේතුවෙන් උපයන විදේශ විනිමය ඩොලර් මිලියන 488ක්‌ ලෙස ගණන් බලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles