Saturday, April 27, 2024

පාකිස්තානයේ ආර්ථික අර්බුදයට වගකිවයුතු ඉම්රාන්ටත් ගෙදර යන්න ආණ්ඩුවෙන්, විපක්ෂයෙන් දෙකෙන්ම බලපෑම් ! විපක්ෂය විශ්වාසභංගයකුත් ගෙනෙයි.

වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට එරට විපක්ෂයෙන් පමණක් නොව, ඔහුගේම පාලක පක්ෂයෙන් දැනුම් දී ඇත.

පාකිස්තාන විපක්ෂ සන්ධානය පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දෙන, ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනකු ද චෝදනා කර ඇත්තේ, වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බවටය.

පාකිස්තානයේ විපක්ෂ සන්ධානය ලෙස සැලකෙන්නේ පසුගිය වසර ගණනාව පුරාවට මාරුවෙන් මාරුවට බලයේ සිටි එරට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය 2018 දී බලයට පැමිණියේ තෙවැනි බලවේගය ලෙසය. ඒ වනවිටත් පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රජයේ වියදම් කප්පාදු කරමින්, සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් මූල්‍ය ආධාර ලබා ගනිමින්, චීනයෙන් ණය ලබා ගනිමින් චීන සංවර්ධන ව්‍යාපෘති සඳගා ගිවිසුම් අත්සන් කරමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැඩි වෙහෙසක් ගත් බව ලොවට රහසක් නොවෙයි.

එරට මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද සූදානම් වෙයි. ඊට අදාල ඡන්ද විමසුම ලබන 28 වැනිදා පැවැත්වීමට ද නියමිත බව පාකිස්තාන විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වත්මන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධය දක්වන ඔහුගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ විපක්ෂය ගෙනෙන විශ්වාසභංගයට තමන් සහාය ලබා දෙන බවත්, තමන් විපක්ෂය සමඟ එක් වී අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා දමන බවත්ය.

එරට පාකිස්තාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 342 කින් සමන්විතය. විශ්වාසභංගය ජය ගනිමින්, ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමට නම්, විපක්ෂය ඡන්ද 272 ක් ලබා ගැනීම කළ යුතුය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සතු ආසන ගණන 155 කි.

මේ වනවිට එරට හටගෙන ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් පාකිස්තාන හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙයි. පාකිස්තාන හමුදා ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හටගත් දේශපාලන අර්බුදයේ දී හමුදාව කිසිදු පාර්ශ්වයකට සහය නොදී මධ්‍යස්ථව කටයුතු කරනු ඇති බවය.

කයිබර්-පක්තුන්ක්වා හි පැවැති දේශපාලන රැලියකට එක්වුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ කිසිදු පැත්තක් නොගෙන පැත්තකට වී සිටින්නේ සතුන් මිස මිනිසුන් නොවන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles