Monday, April 29, 2024

ඊයේ දිවුලපිටියේදී එස්‌ටීඑF වෙඩිකා පාතාලයෙක්‌ මරුට

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ සන්නද්ධ පාතාල කණ්‌ඩායමක්‌ අතර දිවුලපිටිය බල්ලපාන හන්දියේදී ඊයේ (23 දා) දහවල් 1.00 ට පමණ ඇතිවූ පුංචි යුද්ධයෙන් පාතාල අපරාධකරුවකු මියගොස්‌ ඇති අතර පාතාල සාමාජිකයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද සිටින බවත් ඔහු රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපතම ආධාරකරුවකු බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.
මෙම පාතාල කල්ලිය සතුව පිස්‌තෝල 3 ක්‌, අත්බෝම්බයක්‌ සහ ඔවුන් පැමිණි වෑන් රථය ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.
මෙම වෙඩි හුවමාරුවේදී බරපතළ තුවාල ලැබූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරේ නමැති අයකු මියගොස්‌ ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් මාපලගම සංජීව නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලියට අයත් පුද්ගලයන් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අතර වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආසිරි රොද්‍රිගු නොහොන් රන්දීව් නමැත්තා ද සිටින බව පොලිස්‌ විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි.
පාතාල කණ්‌ඩායමක්‌ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපරාධයක්‌ සඳහා යන බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ඊයේ දහවල් එහි ගොස්‌ ඇත.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය නිලධාරීහු දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේ රැකවල් ලාගෙන සිටියහ.

ඒ අවස්‌ථාවේ මෙම පාතාල කල්ලිය මිනුවන්ගොඩ දෙසට වෑන් රථයකින් යමින් සිටි අතර රැකවල් ලාගෙන සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රථය නතර කිරීමට උත්සාහ දරා ඇත.
එහිදී වෑන් රථයේ සිටි පාතාල සාමාජිකයන් එක වරම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සාහ කර ඇත.

ඒ අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් පාතාල සාමාජිකයකු මියගිය අතර සෙසු පාතාල සාමාජිකයන් කැලෑවට පලාගොස්‌ ඇත.

පසුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ප්‍රදේශය වටලා කළ මෙහෙයුමකදී පාතාල සාමාජිකයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම පාතාල කල්ලිය ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණෙන්නට ඇති බවට සැක පළ කරයි. එම ව්‍යාපාරිකයා කලක්‌ පාතාල නායකයකු ලෙස කටයුතු කළ අයෙකි.

මීට සති කීපයකට පෙර ගම්පහ නගරයේදී ටී 56 ගිනි අවි තුනක්‌ සමඟ මෝටර් රථයක්‌ පොලිසිය අත්අඩංගුවට ගත් අතර එහි සිටි පාතාල සාමාජිකයන් පලා ගොස්‌ තිබිණි. එම පාතාල කල්ලිය ගම්පහ නගරයට පැමිණ සිටියේ ද මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට බව පොලිසිය කළ විමර්ශනවලින් පසුව හෙළි විය.

දිවුලපිටියේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා විශේෂ කාර්ය බළකා මූලස්‌ථානය වෙත රැගෙන යැමට නියමිතව තිබිණි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles