Monday, May 20, 2024

උතුරේ එල්ටීිටීඊ ය වැවූ තේක්ක කැළෑ හමුදාව බලෙන් කපනවා !

එල්ටීටීඊ සංවිධානය විසින් මෙයට දශක දෙක තුනකට පෙර වවන ලද සරුසාර තේක්ක වගාවන් මේ වන විට උතුරු නැගෙනහිර ස්ථානගත කර සිටින හමුදාව විසින් විශාල වශයෙන් කපා දමමින් සිටියි. මේ සඳහා ඔවුන් ඒ අවට පදිංචි ගැමියන්ගේ ද සහාය ලබාගන්නා බවට අප වෙත තොරතුරු වාර්තා වී ඇත.

විශේෂයෙන්ම 90 දශකයේ එල්ටීටීඊ ය විසින් තෙරුකන්ඩිකුලම් ප්‍රදේශයේ අක්කර සිය ගණනක් පුරා වවන ලද තේක්ක කැලෑව මේ වන විට හරි අඩක්ම එළි කර ඇති බව අප වෙත වාර්තා වේ. මාන්කුලම්-ඔඞ්ඩුසුඩාන් මාර්ගයේද, කේප්පප්පුලව් ප්‍රදේශයේද පිහිටා තිබෙන දැවැන්ත තේක්ක වගාවන්ට අත් වෙමින් යන්නේ ද එම ඉරණමම ය. ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගත් නන්දිකඩාල් කලපුවේ අනෙක් පස පිහිටා තිබෙන අති දැවැන්ත තේක්ක වනයේ විශාලත්වය අක්කර සියයකට අධික ය. මෙකී සියලුම ප්‍රදේශ අද වන විට දැඩි වශයෙන් මිලිටරීකරණය වී ඇති, හමුදා කඳවුරු ගණනාවක් පිහිටා තිබෙන ප්‍රදේශ වේ.

මෙයට අමතරව කජු සහ අඹ වගාවන් ද එල්ටීටීඊ ය මහත් උවමනාවෙන් සිදුකළ වන වගාවන් විය. ඒ 32 මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන වසර 15 ක් පමණ පැරණි, අක්කර ගණනක් පුරා පැතිරී ඇති සරුසාර කජු වගාව එයට නිදසුනකි.

එල්ටීටීඊ පාලන ප්‍රදේශවල මෙම තේක්ක කැළෑ වවනු ලැබුවේ එම සංවිධානයේ වන සම්පත් සංරක්ෂණ අංශය විසිනි. කජු සහ අඹ කැලෑ සිටවීම ඔවුන් විසින් සිදුකරනු ලැබුවේ ඉතාම සංවිධානාත්මක ලෙසය. මෙකල දකුණෙන් එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට එන ආහාර සැපයුම් සම්පූර්ණයෙන්ම පාහේ නතර කර තිබූ හෙයින් සිය පළාත ස්වයංපෝෂිත කර ගැනීම සඳහා ඔවුන් තුළ බලවත් අවශ්‍යතාවක් විය. තවද පෙරමුණේ යුද වැදී සිටින එල්ටීටීඊ සොල්දාදුවන්ට පළතුරු සැපයීම මෙම වන රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අරමුණක් විය.

මෙම වනාන්තරවල ගස් කැපීම එල්ටීටීඊ ය විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබූ අතර පැය විසිහතරම ක්‍රියාත්මක වන පරිදි කැලෑ ආරක්ෂක සේවයක් ද ක්‍රියාත්මක විය. යම්කිසි ගම්වැසියෙක් ගස් කපා හසුවුවහොත් දඬුවම් කරනු ලැබීය. විශේෂයෙන්ම තේක්ක පැළ විනාශ කර හසුවුවහොත් පසුදින උදෑසන සිට සවස් වන තෙක් වනයේ වැටී තිබෙන වියළි කොළ අහුලා ඒවා පොහොරවලට ගැනීම සඳහා එක් තැනකට රැස්කිරීම වැනි දඬුවම් පනවා ඇත.

පසුගිය වසරේ වාර්තා වූයේ මුලතිව් හි පිහිටා තිබෙන අති දැවැන්ත තේක්ක වනයක් දකුණේ දේශපාලකයෙකු විසින් මහා පරිමාණයෙන් කපා විකුණමින් සිටින බවයි. කෙසේ නමුත් අලුත්ම ප්‍රවෘත්තිවලට අනුව උතුරු නැගෙනහිර ස්ථානගත කරසිටින දැවැන්ත හමුදා බලකාය මේ වන විනාශයට අලුත් මුහුණුවරක් ලබාදෙමින් එය තමන්ගේ පුද්ගලික ආදායම් මාර්ගයක් බවට පත්කර ගනිමින් සිටියි. මෙම තේක්ක කඳන් පැටවීම සඳහා හමුදාව සතු බර වාහන යොදවා ඇති අන්දම ද අපගේ නිරීක්ෂණයට හසුවිය.

අප මේ පිළිබඳ කළ විමසීමකදී යාපනය දිස්ත්‍රික්කයේ ගම්වැසියන් පිරිසක් කියා සිටියේ ”සිංහල ආණ්ඩුවයි හමුදාවයි කැලෑ කපද්දි එල්ටීටීඊ ය කැළෑ වැව්වා.” යනුවෙනි.

පරිසරයට පණ සේ ආදරය කරන මහා ගැමියෙකු ලෙස ජනපති සිරිසේන මේ තත්වය නොදනීද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles