Sunday, May 19, 2024

එෆ්.සී.අයි.ඩී. වහන්නේ නෑ – නි.ඇමති කරු පරණවිතාන

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කාලසීමාව නියත වශයෙන් තවත් හය මාසයකින් දීර්ඝ කරන අතර එය අත්හිටුවීමට කිසිදු සැලසුමක් නැතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ ප්‍රකාශ කළේය.‘දිනමිණ’ට ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මේ විමර්ශන කොට්ඨාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති නිසා එම කොට්ඨාසයේ විමර්ශන කිසිදු බාධාවකින් තොරව කෙරෙනු ඇතැයිද කීවේය.

මෙම කොට්ඨාසය අත්හිටුවීමට තීරණය කර ඇතැයි පවතින දූෂ්‍යමාන ආරංචි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය ඇමැතිවරයා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල රාජකාරි පටන්ගත් අවස්ථාවේදී මෙම පොලිස් කොට්ඨාසය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එය තවදුරටත් බලගන්වන බවත් ප්‍රකාශ කළ බවද සිහි කළේය.

මේ කොට්ඨාසයට හා එහි විමර්ශනවලට එරෙහිව කටයුතු කරන කිහිපදෙනකුගේ විරුද්ධතාව නොසලකා රජය මේ ස්ථාවරයේ අඛණ්ඩව සිටිනු ඇතැයිද පරණවිතාන මහතා කීවේය. මෙම කොට්ඨාසයේ පරීක්ෂණ වාරය ජූනි 30 දින අවසන් වීමට නියමිත අතර රජය මගින් එය දීර්ඝ කරන කාලසීමාව ගැන තීරණයක් ගෙන නොමැත. මේ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගෙන් විමසන ලදුව රජය මගින් මෙම කොට්ඨාසය පිළිබඳ කරන ලද කිසිදු තීරණයක් තමාට ලැබී නොමැති බව පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම පොලිස් කොට්ඨාසයේ නිල කාල මෙතෙක් දික් නොකිරීම නිසා එය අත්හිටුවීමට රජය සැලසුම් කරන්නේ දැයි සැකයක් ඇතිවී තිබෙන බව කීවේය.

2015 පෙබරවාරි 26 වැනිදා පිහිට වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහා පරිමාණ මූල්‍ය වංචා, දූෂණ, මහා පරිමාණ ගැටලුකාරි ව්‍යාපෘති, පොදු දේපළ පිළිබඳ මූල්‍ය අපරාධ, නීති විරෝධී මූල්‍ය ගනුදෙනු, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නකාරී වන මූල්‍ය වංචාවන් විමර්ශනය අරමුණු කොට මෙම ආයතනය පිහිටුවා ගත්තේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට පැමිණිලි 44ක විමර්ශන කටයුතු අවසන් කර නීතිපති වෙත භාර දී ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් මත මේ පැමිණිලි 44න් හයකට නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් සඳහන් කළේය. dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles