Sunday, May 19, 2024

සමානාත්මතාව-සහජීවනය ශිෂ්ට මානව සමාජයක පදනමයි

සමානාත්මතාව හා සහජීවනය ශිෂ්ට මානව සමාජයක පදනම බවත් බෞද්ධ දර්ශනයේ එම ධර්මතාවලට අනුකූලව ජීවත්වීමේ අගය මනා ලෙස පැහැදිලි කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සමාජයට යහපත පතුරුවන සෑම ආගමකම එම ගුණාංග ඇතුළත් බව ද ඒවා ඉක්මවා යන සමාජයක පැවැත්මක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ වවුනියාව බෝගස්වැව විද්‍යාලයේ දී ඊයේ(12) පැවැති වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනට එක් වෙමිනි.යුද්ධයෙන් ජීවිත පමණක් නොව මනුෂ්‍යත්වය, සත්‍ය, යුක්තිය, සාධාරණත්වය ආදී බොහෝ දේ ජනතාවට අහිමි කළ බව ද පැවසූ ජනාධිපතිවරයා මිනිසුන් තුළ තිබිය යුතු හිතවත්කම, විශ්වාසය එමගින් බිඳ දැමුණු බව ද රටක් ලෙස යුද්ධයේ ආදිනව සුළු පටු නොවන බව ද හෙළි කළේය. dinamina

ත්‍රිවිධ හමුදා පොලීසියේ කැපවීමත් රජයේ සහ ජනතාවගේ සහායෙන් යුද්ධය ජයග්‍රහණය කර සාමකාමී කාලසීමාවක් උදාකර ගත් බවත් කුරිරු එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර පහකට තමා මුහුණ දුන් බවත් පැවසූ ජනාධිපතිවරයා උතුරේ ජනතාවට යුද්ධය පිළිබඳ අත්දැකීම් රැසක් ඇතැයි තමා විශ්වාස කරන බවත් අනාවරණය කළේය. යුද්ධය නිමා වී ඇති බැවින් රට ගොඩනැ‍ඟීමේ කාර්යයට ජාති ආගම් කුල භේද නොලසකා රටේ සියලු ජන කොටස් එක් විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටම වෙලාගෙන ඇති වකුගඩු රෝගය තුරන් කිරීමට විදේශීය රටවල් රැසක ආධාර හිමි වෙන බව කී ජනාධිපතිවරයා රජරට වකුගඩු රෝහලක් විදේශ ආධාර යටතේ මේ වසරේ ඉදිකෙරෙන බව කීය. පළාත් නවයේ පවතින පානීය ජල ප්‍රශ්නය ඉදිරි වසර නිමා වීමට පෙර විසඳන බව හෙළි කළ ජනාධිපතිවරයා වවුනියාවේ ජනතාවට පවතින සෞඛ්‍ය, මහා මාර්ග අධ්‍යාපන ආදී ගැටලු සඳහා රජයක් ලෙස ලබා දිය හැකි සියලු සහන ලබා දෙන බව ද වැඩිදුරටත් අනාවරණය කළේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ඇමැති රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කරේ, උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ආචාර්ය සත්‍යලිංගම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ජනාධිපති කාර්යසාධක බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජනරාල් මනෝ තිත්තවැල්ල මහත්වරුන් ද පළාත් ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ජනතාව, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles