Friday, May 17, 2024

ඔමික්‍රෝන් පාලනයට නෙදර්ලන්තය අද සිට සති 4 කට ලොක්ඩවුන් කරයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙනවා.

යුරෝපය පුරා සීඝ්‍ර ලෙස ඉහළ යන ඔමික්‍රෝන් අවදානම සැලකිල්ලට ගනිමින්, රටවල් රැසක් නත්තල් සැණකෙළි සහ නව අවුරුදු උදාව සැමරීමේ උත්සව අවලංගු කර ඇති අතර, නෙදර්ලන්තය ලොක්ඩවුන් සීමා පනවමින් තත්ත්වය පාලනයට පියවර මෙලෙස ගැනුණා.

මේ අතර ලොව පුරා අසාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වන රටවල් සංඛ්‍යාව 91ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන අතර සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළදී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවය.

මේ අතර යුරෝපයේ වැඩි වශයෙන්ම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යව 10,000 ඉක්මවයි.

පවතින තත්ත්වය හමුවේ ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් අගනුවර ඔමික්‍රෝන් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම ප්‍රධාන සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පියවර ගත්තේය.

අගනුවර තත්ත්වය කෙතරම් බරපතළද යත් ඊට මුහුණදීමට පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් සහ සෞඛ්‍ය සේවකයන් හිඟ වනු ඇතැයි තමන් කණස්සල්ලට පත්වී සිටින බව ඔහු සඳහන් කර ඇත.

ගතවූ පැය 24 තුළ එක්සත් රාජධානියෙන් නව කොවිඩ් ආසාදිතයන් 90,000කට වැඩි පිරිසක් හඳුනා ගැනුණ අතර එය පසුගිය සතියට සාපේක්ෂව 67%ක වර්ධනයකි.

දෛනික රෝහල්ගතවීම් 3,000 සිට 10,000 දක්වා ඉහළ යාහැකි අතර දිනකට මරණ 600 ත් 6,000ත් අතර සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ දැඩි සීමා පනවා කොවිඩ් නව ව්‍යාප්තිය පාලනයට රජය පියවර නොගතහොත් මේ මස අවසානය වනවිට එරට දෛනික ආසාදිතයන් 600,000 සිට මිලියන 2 දක්වා වර්ධනය විය හැකි බවය.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීග්‍ර ව්‍යප්තිය මේ වන විට ලොව සෑම රටකටම පාහේ දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර වැඩිම අවදානමකට මුහුණ පා ඇති රටවල් ලෙස බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව පෙරමුන ගෙන ඇති බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles