Sunday, May 19, 2024

කඩවත – මීරිගම අධිවේගයේ සියයට විසිපහක වැඩ අවසන්. වසර දෙකක් තුළ වැඩ කටයුතු අවසන් කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37 ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු සියයට විසිපහක පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23 ක් උසැති කුලුනු මතින් තැනවෙන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37 කින් යුත් කොටසෙහි කිලෝ මීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදි කෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

කඩවත – මීරිගම කොටස අතර අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විත වන අතර එය ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙන් වන බවත් කලින් සැලසුම් කොට තිබූ ගම්පහ – ජාඇල මාර්ගයේ අකරවිට ප්‍රදේශයෙන් ගම්පහ දකුණ වශයෙන් සදහන්වූ අර්ධ හුවමාරුව ඉවත්කොට ඇති බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

ඉදිරි වසර දෙකක කාලය තුල කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති බවත් මේ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ ලබාගත් රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන බවත් එම කාර්යාලය පැවසීය.

මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබයි.

කඩවත – මීරිගම කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වූ පසුව ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල සිට කුරුණෑගල දක්වා සෘජුව ගමන් ගැනීමට හැකි වනු ඇත.

අද

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles