Friday, May 3, 2024

කළු ඇඳුමින් සැරසී දේවස්ථානවලට එන්නැයි කතෝලිකයින්ගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් මෙරට කතෝලික සභාව හෙට (07) දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සියලු කිතුණුවන්ට හෙට කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට පැමිණෙන ලෙස එම සභාව පසුගියදා දැනුම් දුනි.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව පසුගිය දා භාරදුන් අතර හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම සහ තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත් ය.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් මාර්තු මස 07 වැනිදා ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය තීරණය කර තිබුණි.

ඒ අනුව හෙට දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් වින්සන්ට් ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ, ” මේ ප්‍රහාරයෙන් පසුව සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මේ රටට ඉදිරියේදී ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවෙයි. එය වැළැක්විය නොහැකි වෙයි.” යනුවෙනි.

මේ අතර කතෝලික සභාවේ තීරණය තමන්ද අනුමත කරන බව මහා සංඝරත්නය සඳහන් කර තිබුණි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් “ඒ ප්‍රහාරය කවුද කලේ කියන එක අද වෙනකම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් ලැබිලා නෑ. මේ ප්‍රහාරය කතෝලිකයන්ට විතරක් එල්ල වූ ප්‍රහාරයක් නෙමෙයි. සියලු ජාතීන්ට එල්ල වූ ප්‍රහාරයක්.” යනුවෙන් පැවසීය.

“කාදිනල්තුමා කරන කියන දේ අපිට අනුමත කරන්න වෙනවා. ඒ සඳහා සහයෝගය දීමට වුණත් අපි ඉදිරියේදී ඉදිරිපත් වෙනවා.” යනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසති.

මෙම කළු ඉරිදාවට සහාය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂයද තීරණය කර තිබේ.

එහ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ මීගමුව කොච්චිකඩේ දේවස්ථානය අසල විශේෂ යාච්ඥාවක් පැවැත්වුණේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පිරිස් හෙළිකර දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles