Sunday, May 19, 2024

කායවර්ධන සම්මේලනයට ත්‍රී පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය තුළ සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ත්‍රී පුද්ගල කමිටුවක් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් අනුව පත්කරයි. මේ ත්‍රී පුද්ගල කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු සරත් ගුණතිලක මහතා හා සාමාජිකයන් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් වන ඩඩ්ලි කරුණාරත්න, ඩබ්ලිව්. ඒ. ටී. රත්නායක යන මහත්වරුන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පත්කර ඇත.

කායවර්ධන සම්මේලනයේ පරිපාලනය පිළිබඳ පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ලවූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ලැබී තිබුණි. එහෙයින් කායවර්ධන සම්මේලනයේ කටයුතු විධිමත් කිරීම උදෙසා මේ කම්ටුව පත් කළ බව ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. චෝදනා විභාග කොට ඉක්මණින් වාර්තාවක් ලබා ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා අපේක්ෂා කරයි. එම වාර්තාව අනුව වැරදිකරුවන් වන පිරිසට තරාතිරම නොබලා දඩුවම් කරන බවද ඇමැතිවරයා පවසයි.

කායවර්ධන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගාවලි කිහිපයක්ම අහිමි කිරීම ඇතුළු චෝදනා ගණනාවක් වත්මන් කායවර්ධන සම්මේලනයට එල්ලවී ඇති අතර කායවර්ධන තරගාවලියක් සංවිධාන කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අක්‍රමිකතාවක් පිළිබඳවද නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී තිබේ.

නිමාව දුටු ආසියානු කායවර්ධන ශූරතාවලිය, 50වැනි ආසියාතික කායවර්ධන තරගාවලිය, මධ්‍යම ආසියාතික තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩකයන්ට අහිමි වූ අතර එළැඹෙන සැප්තැම්බර් මාසයේදී වියට්නාමයේ පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් තෝරා ගැනීම තවමත් සිදුව නොමැත.

කායවර්ධන සම්මේලනය තුළ සිටින ඇතැම් නිලධාරීන්ගේ එකමුතුවක් නොමැතිවීම මේ තත්ත්වයට තදින් බලපාන බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහසවී තිබේ. මෙමගින් ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම ක්‍රීඩා අමාතයාංශයේ වගකීමක් බවද සඳහන් කර සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles