Thursday, May 2, 2024

කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියට ලිට්රෝ ගෑස් සම-අනුග්‍රහය

මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා දවන ලිට්රෝ ගෑස් සමාගම, පසුගියදා නිමා වූ කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා සම-අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. තරගාවලිය කුරුණෑගල පනාගොඩ ධාවන පථයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකිය මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) සමග එක්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (SLAC) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේදී, අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ රැසක් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ධාවන පථයේදී සිය දස්කම් විදහාපෑහ.

මෙවර කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය සඳහා වෙනත් රටවල ධාවකයන් ද ඇතුළුව යතුරුපැදිකරුවන් 90 දෙනෙකු ද, ධාවකයන් හැත්තෑදෙනෙකු ද සහභාගී වූ අතර, මෝටර් රථ සහ යතුරුපැදි අංශවලින් ධාවන ඉසවු 12 බැගින් එහිදී පැවැත්විණි. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ මහතාගේ අදහසකට අනුව 2010 වසරේදී ඇරඹුණු මෙම තරගාවලිය, යුද්ධයෙන් මිය ගිය සහ අබාධිත තත්ත්වයට පත් වූ හමුදා සෙබළුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් දියත් කෙරේ.

“ශ්‍රී ලාංකේය ධාවන ක්ෂේත්‍රයේ වඩාත් උත්කර්ෂවත් තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. දේශීය වශයෙන් සිය දස්කම් විදහා පාමින් ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා මෙම තරගාවලිය මනා තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. ඉදිරියේදී ද මෙවැනි ඉසවු සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම බලාපොරොත්තු වනවා.” ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා සඳහන් කළේය.

ගොඩනැගිලි ඉදිකිරිම, රැකියා පරිසරය වර්ධනය කිරීම මෙන්ම විනෝද ක්‍රීඩා, වෛද්‍ය, නවාතැන් සහ ආහාර-පාන පහසුකම් ද සඳහා කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය දායකත්වය ලබා දෙයි. එය මේවන විට ද, නිවාස 18ක්, නිවාඩු නිකේතන 3 ක් ඉදිකිරිම සඳහා ද, සුබසාධක ව්‍යාපෘති, පුහුණු සැසි, වෛද්‍ය පහසුකම් සහ වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් සහ “විරුදරු” ව්‍යාපෘතිය සඳහා ද දායක වී තිබේ.

වර්තමානයවන විට ලිට්රෝ ගෑස් සමාගම දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන 5,000 ක් තුළින් සිය පාරිභෝගික ජනතාවට සේවය සලසයි. දැඩි ආරක්ෂණ විධික්‍රම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලිට්රෝ ගෑස් සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සමාගම අනුගමනය කරන ව්‍යාපාරික මූලෝපායන් ද ක්ෂේත්‍රය තුළ වැදගත් ආදර්ශකයක් ලෙස සැලකේ.

සේයා රූ සටහන : ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ චමින්ද එදිරිවික්‍රම මහතා අනුග්‍රාහක චෙක්පත පිරිනමමින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles