Saturday, May 18, 2024

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තේ ඇයි?

ප්‍රේම්කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් යනු අසූ නවය ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලේ ප්‍රබල සම්බන්ධිකාරක චරිතයකි. එහෙව් කුමාර් ඉන් වසර 23කට පසු ලංකාවෙන් පිටුවහල් කිරීමේ නියෝග ලබන්නේ ලංකාවේ පුරවැසිභාවය නොමැතිව වීසා කාලය ඉක්මවා ලංකාව තුල රැඳී සිටීම හේතුවෙන්ය. ඉන් වසර තුනකට පසුව කුමාර් අද කෑගල්ලේ සිය මවගේ නිවසේදී අත්අඩංගුවට පත්වන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ලංකාවේ රැඳී සිටීම යන වරදට බරපතල වැරදිකරුවෙක් කරමින්ය.

ලංකාව තුල වීසා නොමැතිව සිටින විදේශිකයන් සංඛ්‍යාව පිළිබඳව හෝ එසේ සිටින ස්වදේශිකයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිසියාකාරව අප සතුව නොමැත. ඒ වුනත් නියත වශයෙන්ම විශාල ප්‍රමාණයක් අනවසර ආගමන විගමන සිදුකරමින් මෙරෙට විශාල පිරිසක් ජීවත්වන බව සත්‍යයකි. ඒ අතරින් කුමාර් ගුණරත්නම් සොයා මෙතරම් පොලිස් මෙහෙයුම් සිදුවන්නටත්, ඔහුව කුදලාගෙන ගොස් බරපතල දඬුවම් දෙන්නටත් මෙරට රජයට (පසුගිය මෙන්ම වත්මන්) මෙතරම් උනන්දුවක් ඇත්තේ කුමක් නිසාද යන්න ගැටළුවක් ජනතාව තුල තිබෙන බව සහතිකය.

ප්‍රධානතම අභිප්‍රාය මෙරට ආගමන විගමන නීති රෙගුලාසි ආරක්ෂා කිරීම නොවන බවනම් පැහැදිලිය. එසේනම් මෙරට ආණ්ඩු කුමාර් ගුණරත්නම්ට බියෙන් පසුවේද? නැතිනම් ආණ්ඩුවට මුක්කු ගසන්නාවූ වෙනත් පක්ෂ හෝ සංවිධාන මෙරට දේශපාලන සන්දර්භය තුල කුමාර් ගුණරත්නම් ක්‍රියාකාරීව සිටිනවා දකින්නට අකමැතිද යන්න තාර්කිකව බැලිය යුතු කාරණයකි.

කුමාර් අසූ අට, අසූ නවය සමයේ ජ.වි.පෙ ක්‍රියාකාරී කාඩරයේ ප්‍රබල ලකුණක්ව කටයුතු කරද්දී යටබිම්ගත දේශපාලනයේ සිය කාර්යභාරය ඉතාම ඉහලින් කරන්නට සමත්විය. නැගෙනහිර කලාපය භාරව කුමාර් කටයුතු කරද්දී මාක්ස්වාදය අනුමත කල දෙමළ සංවිධානවූ ටෙලෝ සංවිධානය වැනි කොට්ඨාශ සම්බන්ධිකරණය කලේ කුමාර්ය. ජ.වි.පෙ කැරැල්ල බිඳවැටීමෙන් පසු ජ.වි.පෙ ක්‍රියාකාරී දේශපාලනික මුහුණුවර තුල කුමාර් තිරය පිටුපස සිටි සැබෑ නායකයා බව ජනතා විමුක්ති පෙරමුණ හරියාකාරව දන්නා ඕනෑම අයෙක් පිළිගන්නී. ජ.වි.පෙ බිම් මට්ටමේ කාඩරයට සහ පොදු ජන සමාජයට පෙනෙන ආකර්ශණීය කථිකයා හෝ නායකයා කුමාර් නොවුණත් සම ඇතුලතින්, මාංශ පේශී වලට ඇතුලතින් සිට ශරීරයට සැබෑ ප්‍රාණය සපයන සහ ශරීරය දරා සිටින කොඳු නාරටිය පරිද්දෙන් ජ.වි.පෙ තුල ක්‍රියාකලේ කුමාර් ගුණරත්න හෙවත් නොයෙල් මුදලිගේය. කාඩරය තුල කුමාර් මහත්තයා ලෙසින් හඳුනාගත් මේ චරිතය ජ.වි.පෙ ජාත්‍යන්තර සබඳතා ජාලය මෙන්ම ජ.වි.පෙ නිල පුවත්පතටද විශාල දායකත්වයක් ලබාදුන්හ.

නමුත් ජ.වි.පෙ සැබෑ දර්ශනය වෙනත් පක්ෂවලට පාවා දෙන නායකයින් ජ.වි.පෙ තුල බඩ පිනුම් ගහන වාතාවරණයක් තුල කුමාර්ලාට පක්ෂයෙන් විවිධ තාඩන පීඩන එල්ලවන්නට විය. අවසානයේ පක්ෂය තුලින් එලියට බසින්නටත් “ජන අරගල“ ලෙසින් පටන්ගෙන ඉන් පසුව පෙරටුගාමී සමාජවාදී නමින් පක්ෂයක් අටවාගන්නා කුමාර්ගේ තනියට පුබුදු ජයගොඩලා වැනි ජ.වි.පෙ ඊළඟ පරපුර මෙන්ම චමීර කොස්වත්ත, උඳුල් ප්‍රේමරත්න පමණක් නොව ජ.වි.පෙ හදවත බඳු අන්තරයද පෙරටුගාමීන් ලෙසින් ජ.වි.පෙ හැරදමා යන්නේ කුමාර් ගුණරත්නම් කෙරෙහි දැඩි විශ්වාසයෙන්ය. අන්න ඒ විශ්වාසයට ජ.වි.පෙ නායකයන් මෙන්ම පසුගිය මෙන්ම,වත්මන් ආණ්ඩුවේ නායකයන්ද දැඩිසේ බියක් දක්වයි. ඒ මක්නිසාද යත් වත්මන් ජ.වි.පෙ ස්වරූපයට එහා ගිය දැඩි ප්‍රතිවිරෝධී විකල්ප බලයක් බවට පෙරටුගාමීන් පත්කිරීමට කුමාර්ගේ ක්‍රියාකාරී මැදිහත්වීමට හැකි බැවින්ය. ඒ නිසා කුමාර් මෙරට දේශපාලනයෙන් භෞතිකව හෝ ඈත් කර තබන තරමට ආණ්ඩුවේත්, ජ.වි.පෙ ත් ඉරණමට වඩාත් සුභදායකය.

කුමාර් ගුණරත්නම් මෙරට ක්‍රියාකාරී දේශපාලනයට මෑතකදී පැමිණි සෑම අවස්ථාවකම කුමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා ඔහුට පියවරක් පසුපසට තබන්නට සිදුවිය. එහෙත් කුමාර් යනු දක්ෂ පරිපාලකයෙක් මෙන්ම සංවිධායකයෙක් වීම නිසා විදේශගතව හෝ සිට පෙරටුගාමීන් වර්තමාන ස්වරූපයෙන් තබාගැනීමටත් නිරතුරුව මෙරට ආණ්ඩුවලට සිය දේශපාලනික අවතාරය තුලින් යම් බියක් ඇතිකිරීමට කුමාර් සමත්විය. ඒ සාධකය නිසාවෙන්ම කුමාර්ට එරෙහිව ආගමන විගමන නීති තදින්ම එල්ල කිරීමට හේතුවිය. කුමාර් තවත් එක සාමාන්‍ය මිනිහෙක් වූවානම් මෙතරම් ප්‍රබල මෙහෙයුම් දියත් කරන්නට කිසිලෙසකින්වත් උත්සහ නොදරනු ඇත. කුමාර් ගුණරත්නම් මෙලෙස අත්අඩංගුවට ගැනීමට එකම හේතුව වන්නේ ඔහු කුමාර් ගුණරත්නම් වීමමය.

ජනරඟ දේවසුරේන්ද්‍ර (සංවාදයට විවෘතයි [email protected])

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles