Saturday, May 18, 2024

කුළියට ගත්ත “මහපොළ“ නැව ගිල්ලේ කව්ද?

ශ‍්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් ‘‘ලංකා මහපොළ’’ නෞකාව 2013 වසරේ දී යකඩවලට කපා ඉවත් කර ගැනීම සඳහා ඉන්දියාවට විකුණා තිබෙන බව අනාවරණය වී ඇත.

1984 වසරේ ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම නෞකාව 2011 වසරේ ඔක්තෝබර් මාසයේ එවකට හිටපු ජනාධිපති උපදේශක සංජය සේදර සෙනරත් විසින් කුලී පදනම මත ඔහුට අයත් බෙයාබෝට්ස් චාටර්ස් ට‍්‍රපල් එස් ෂිපිං නම් සමාගමට පවරාගනු ලැබ තිබේ.

කුලී පදනම මත ලබා ගත් නෞකාව යකඩ සඳහා ඉන්දියාවට විකුණා දැමීම දූෂිත ගනුදෙනුවක් බව අනාවරණය වන අතර නැව් සංස්ථාවට අයත් විශාලතම නෞකාව මෙලෙස විකුණා දැමුවේ කෙසේද යන්න ගැටලූ සහගතය.

2011 ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපති උපදේශකවරයාගේ නැව් සමාගමට ‘මහපොළ’ නෞකාව ලබා දී ඇත්තේ දිනකට ඩොලර් 1100ක කුලී පදනම මතය.

එම නෞකාව 2012 වසරේ ජූලි මස 09 වන දින රහසිගත ලෙස නැගෙනහිර අප‍්‍රිකාවේ සැන්සිබාර් ධජය යටතේ ලියාපදිංචි කර ඇත.

අවම ගාස්තුවක් යටතේ පෞද්ගලික සමාගමකට කුලී පදනම මත පැවරූ නෞකාව සඳහා ගෙවිය යුතු කුලී ගාස්තුව නියමිත පරිදි නැව් සංස්ථාවට ලැබී නොමැති අතර ජනාධිපති උපදේශකවරයාගේ සමාගමට නැව පැවරීමේ දී නැවෙහි තිබූ ඩොලර් ලක්ෂ දෙකකට වැඩි වටිනාකමක් සහිත ඉන්ධන ගාස්තුව ද ගෙවා නැත.

කුලී පදනම මත ලබා ගත් මහපොළ නෞකාව 2012 වසර වන විට ගමන් වාර හතරක් සම්පූර්ණ කර ඩොලර් මිලියන හතරක මුදලක් උපයාගෙන ඇත.

දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් වරායේ නවතා තිබූ නෞකාව කූට ලේඛන ඉදිරිපත් කරමින් රටවල් කිහිපයක ධජ යටතේ ලියාපදිංචියට උත්සාහ දරා තිබීමත් බෙයාබෝට්ස් සමාගම හා නැව් සංස්ථාව අතර තිබූ ගිවිසුම් කොන්දේසි කඩ කිරීමත් නීති විරෝධීය.

තත්ත්වය එසේ වුව ද 2012 වසරේ ජුනි මස 09 වන දින ටැන්සානියාවේ ස්වයං පාලිත රටක් වන සැන්සිබාර ධජය යටතේ නෞකාව ලියාපදිංචි කර ඇත.

එකී ලියාපදිංචියෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් මහපොළ නෞකාව ජනාධිපති උපදේශකවරයා විසින් යකඩ සඳහා ඉන්දියාවට විකුණා දැමීම බරපතළ ගැටලූවක් වන අතර මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කෙරී නැත.

මහපොළ නෞකාව යකඩ සඳහා විකුණා දැමුවේ කෙසේද යන්න පිළිබඳව ශ‍්‍රී ලංකා නැව් සංස්ථාවෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජාතා පෙරේරා මහත්මියගෙන් අප කළ විමසීමක දී ඇය සඳහන් කළේ ඒ පිළිබඳව කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි.

(සත්හඬ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles