Thursday, May 2, 2024

කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ජූනි මස 20 – 23 දක්වා…

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ජූනි මස 20 දින සිට 23 දින දක්වා දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදු කෙරෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම අයදුම්පත් නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ. අනුරාධපුර, බදුල්ල, නුවර, මාතර, රත්නපුර යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා ගාල්ල, කඩවත, සීදූව, තංගල්ල, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, වවුනියාව, යාපනය හා පොලොන්නරුව යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී හා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.

මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1976 ජූනි 21 සිට 1998 ජූනි 20 දක්වා උපන්) විය යුතු අතර, සිර දඩුවම් නොලද අය විය යුතුය. එසේම කොරියානු රජයෙන් ආපසු හරවා හෝ නෙරපූ අය නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇඟිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක.

 මෙම විභාගය ජූලි මස ආරම්භ වීමට නියමිතය. ඔන්ලයින් ක‍්‍රමයට (point system) පැවැත්වෙන මෙවර විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය යන කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වේ. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබා දීමේ ක‍්‍රමයද වෙනස් වී තිබේ.  ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්‍ෂණය ඔන්ලයින් ක‍්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද ප‍්‍රායෝගිකව සිදු කරනු ලබයි.

අපේක්ෂකයින් ස්ථානීය ලකුණු ක‍්‍රමය (point system) යටතේ තෝරාගනු ලබයි. ඒ අනුව මෙවර පවත්වන විභාගයේ දී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ලකුණු 100 ක් හා හැකියා පරීක්ෂණයේදී ස්ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද, එසේම ධීවර හා ඉදිරිකිරීම් අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ  ස්ථානීය ලකුණු 90 ක්ද හැකියා පරීක්ෂණය ස්ථානීය ලකුණු 110 ක්ද වශයෙන් ලබා දේ. මෙයට අමතරව ඉහත රැකියා අංශ තුන සඳහා අමතර හැකියා ලකුණු 5 බැගින් ලබා දේ. කර්මාන්ත අංශයට ලබා දෙන මුළු ස්ථානීය ලකුණු ප‍්‍රමාණය 205 වන අතර ධීවර හා ඉදිරිකිරීම්  අංශය සඳහා ලබාදෙන ස්ථානීය ලකුණු ප‍්‍රමාණය 205කි. පැරණි ලිඛිත ක‍්‍රමයේ අඩුපාඩු මඟහරවා ගනිමින්, නව ක‍්‍රමය යටතේ වඩාත් කාර්යක්‍ෂමව හා වඩා සාධාරණීය අයුරින්, නව ක‍්‍රමය යටතේ, විභාගය පවත්වන අතර, එහිදී, විභාග අපේක්‍ෂිතයින්ගේ වැඩකිරීමේ හැකියාව, කාලය, ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, ජූනි මස 20 සිට 23 දක්වා දින හතර තුළ අදාළ මධ්‍යස්ථානවලට ගොස් අයදුම්පත් ලබාගන්නා ලෙසයි. ඔන්ලයින් ක‍්‍රමයට පවත්වන මෙම විභාගය පිළිබඳව අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා තෙවන පාර්ශවයක සහයෝගය ලබා නොගන්නා ලෙසත්, අමාත්‍යවරිය රැකියා අපේක්‍ෂිතයින්ගෙන් ඉල්ලා සිටි.

එසේම කිසිවිටෙක කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසඳ දැනුම්දෙයි. සියලු ගනුදෙනු කාර්යාංශය මඟින් පමණක් සිදුකරන ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටි.   කොරියානු රැකියා තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බවත් ඉදිරියේදී වැඩි වශයෙන් කොරියානු රැකියා ලබාගැනීමට සාකච්ඡා කරන බවත් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර කොරියානු රජයෙන් ලැබී ඇති බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles