Sunday, May 19, 2024

කොළඹ, කුරුණෑගල සහ මහනුවර වෛරස සාම්පල අනුව අලුත් වෛරසයක්?

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ,කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.

එම වෛරස වල එස් ජාන (ප්‍රෝටීන )හඳුනා ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් මෙම වෛරස බොහෝ දුරට බ්‍රිතාන්‍යයේ පැතිර ඇති වෛරස ප්‍රභේදයට බොහෝ දුරට සමානකම් ඇතැයි සැක කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ ව්‍යාප්ත වී ඇති වෛරස් ප්‍රභේදයේ යම් විකෘතිතාවයක් දක්නට ඇති බවත් වෛරසය සීඝ්‍ර ව්‍යාප්ති ලක්ෂණ පෙන්නුම් කිරීම කැපී පෙනෙන බවත් ආචාර්ය ඡීවන්දර මහතා කීය.

ලංකාවේ පැතිර පවතින්නේ සත්‍යයෙන්ම බිතාන්‍ය ප්‍රභේදයද එසේ නැතිනම් ලංකාවේ ප්‍රභේදය වෙනස්කමකට භාජනය වීමක් ද එසේත් නැතිනම් මෙරටදීම නිර්මාණය වූ ප්‍රභේදයක්ද යන්න සොයා බලන බව කී ආචාර්ය වරයා මෙරට ඉන්දියානු වෛරස ප්‍රභේදය පැතිර ඇතැයි මෙතෙක් තහවුරු වී නැතැයි ද පැවසුවේය.

රටේ දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ලබන අඟහරුවාදා දිනයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හොංකොං හි සිට මෙරටට ගෙන්වීමට නියමිත බවත් ජීවන්දර මහතා පවසයි.

“අපි දැනට අනුමාන කරලා තියෙනවා මේක ජාන විකෘතියක් සහිත ප්‍රභේදයක් නිසා තමයි පැතිරෙන්නෙ කියලා. ඊයෙ වෙනකොට අපි හඳුනාගත්තා මේ වෛරස් එකේ මේ 6970 කියන ඩිලීශන් එක පීසීආර් එක හරහා. ඊට පස්සෙ අඟහරුවාදා දිනයේදී අපි නැවත පීසීආර් පරීක්ෂණයක් කරනවා විශේෂිත එකක්. එයට අදාළ පරීක්ෂණ කට්ටල හෙට දිනයේ ලංකාවට පැමිණීමට නියමිතයි හොංකොං නගරයේ සිට. අපි ඉතාමත්ම යුහුසුළුව ඉන්නවා ඒ කිට් එක ලැබෙනකල්. ඒක පැමිණි වහාම අපි අඟහරුවාද දිනයේදී මේකෙ මියුටන්ට් වේරියේෂන්ස් බලන්න පීසීආර් පරීක්ෂණය කරනවා. ඒක අවසන් වෙච්ච වහාම අපේ ජාන අනුක්‍රමණ පිළිබඳ විශේෂිත විශ්ලේෂණය පටන් ගෙන අවශ්ය කරන වාර්තා හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එන්නත්කරණය නව ප්‍රභේදයට කෙසේ ප්‍රතිචාර දක්වයිදැයි විමසීමේදී ඒ මහතා පැවසුවේ “ඉතාමත්ම අමාරුයි එහෙම කියන්න. හැබැයි අපි පොදුවේ දන්නවා ඇස්ට්‍රසෙනිකා වැක්සීන් එක B. 1.1.7 කියන ප්‍රභේදයට යම්කිසි අඩුවෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. කෙසේවෙතත් වැක්සීන් මාත්‍රාවක් හෝ ගත්තායින් පස්සෙ ඔබට ප්‍රතිශක්තිය ගොඩනැගිලා තියෙන නිසා වෛරසයට නිරාවරණය වුණොත් ඔබට හැදෙන රෝගය දරුණු වීමේ හැකියාව අඩුවෙනවා. ඉතිං ඒකත් ඉතා විශාල දෙයක්. මොකද එහෙම වුණොත් මේක මේ සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවක් බවට පත්වෙනවා. දැනට වාර්තා වෙන හැටියට යම්කිසි ප්‍රතිශක්තියේ අඩුවක් තිබ්බට ඒත් තාම වෛරස් එක ඉදිරියේදී පැතිරීම වළක්වන්න අපි දකිනවා එන්නත්කරණය තමයි ඉතාමත්ම හොඳ ක්‍රමවේදය වෙන්නෙ” යනුවෙනුයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles