Monday, May 6, 2024

පෝට් සිටි පණත හරහා අපේ රට යළිත් මුදල් විශුද්ධිකරණයෙන් Blacklist වෙන්න පුළුවන් – රනිල්

2011 වසරේදී ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති ලැයිස්තුවට වැටී තිබුණු ශ්‍රී ලංකාව යහපාලන ආණ්ඩුව විසින් එම තත්වයෙන් මුදවාගත් නමුත් වත්මන් රජය ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත හරහා යළිත් රට අසාධු ලේඛනයට වැටීමේ අවදානමක් පවතින බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අපේ රට අර ජාත්‍යන්තර කළු සල්ලි විනිවිදභාවයක් නැති ලැයිස්තුවට 2011දී වැටුණා. 2015 අපි ආණ්ඩුව ගත්තාට පස්සෙ අපි සාකච්ඡා කළා, ඒ පාර ඒ කළු ලැයිස්තුවෙන් අයින් කළා. අපි පියවර අරගෙන තියෙනවා, තවත් පියවර ගන්න ඕනෙ කියලා අපිව බ්ලැක් ලිස්ට් එකෙන් රීලිස්ට් එකට දැම්මා. ඒ කරලා සාකච්ඡා කරලා තමයි 2018 අපි ඉදිරිපත් කරපු යෝජනා සියල්ලම පිළි අරගෙන අපිව මේ ලැයිස්තුවලින් ඉවත් කළේ. ලංකාව ආපහු ඒ ලැයිස්තුවලට යන්න බෑ. ලංකාවට ආපහු ජීඑස්පී නැතිකරගන්න බෑ. 

අද මේ පනතෙ තියෙනවා අක්වෙරළ සේවා සමාගම් හා මූල්‍ය මධ්‍යස්ථානවලට ඇතුළු කරලා සූදු පොළ. ඩුබායිවලත් සිංගප්පූරුවෙවත් ඇත්ත වශයෙන්ම මොරීෂස්වත් හොංකොංවත් ටෝකියෝවත් ඒ මහබැංකුවට එහෙම සූදු පොළවල් ඇතිකරන්න බලතල දීලා නෑ. අපේ සම්පූර්ණ බලය මහබැංකුවට දෙන්නෙ නැතුව අපි එකඟවුණු හැටියට, එයින් කොටසක් මේ කොමිසමට අරගෙන තිබෙනවා. එහෙනම් මොකද්ද මෙතන කරන්න යන්නේ ? අන්න ඒකයි අහන ප්‍රශ්නය. ඇයි සූදු පොළවල ඇතිකරේ. පැය 24න් මධ්‍යස්ථානයක් කරනවා නම් එහෙනම් සූදු පොළවල් ඇතිකරලා ඒ විතරක් නෙවෙයි ඔන්ලයින් සූදු පොළවල් ඇතිකරලා තමයි මුදල් ඇතිකරන්න බලන්නෙ. අපි එතෙන්ට වැටෙනවා. 

කැසිනෝවලටත් මේ ලංකාවෙ කැසිනෝ බලපත්‍ර හතරක් තියෙනවා, ඕකෙන් දෙකක් අරගෙන මෙතෙන්ට ගේන්න කියලා කියන්නෙ. අලුත් නීති වුවමනා නෑ. ඇයි මේ කට්ටිය මේක පාර්ලිමේන්තුවේ පාලනයෙන් ඉවත් කරලා තියෙන්නෙ ? ඇයි පාර්ලිමේන්තුවට මේ නීති සම්මත කරන්න ඉඩ දෙන්නැත්තෙ ? ඇයි පාර්ලිමේන්තුවට මේ වැඩකටයුතු පරීක්ෂා කරන්න වෙනම බලතල දෙන්නැත්තෙ ? ඇයි මේවා ඉවත් කරන්නෙ ? මේකෙන් ලිස්සලා යන්න බෑ. මේ තරුණ තරුණියන්ගෙ අනාගතය ඕනෙකමින් නැතිකරන්න යන්නෙ. දැනටම අපි අමාරුවෙන් ඉන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles